ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වයඹ නව ආණ්ඩුකාර: අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, ජනාධිපතිවරයා විසින් පසුගියදා වයඹ නව ආණ්ඩුකාර ධුරයට පත් කෙරුණේ හිටපු ආණ්ඩුකාර රාජා කොල්ලුරේ කොරෝනා ආසදිතව අභාවයට පත් වීමත් සමග ඇති වූ එම ධුරයේ පුරප්පාඩුව පිරවිමටයි.
ඔහුගේ එම පත්කිරීම ගැන මේ වන විට විවිධ ප්‍රතිචාර සමාජ මාධ්‍යන්හි පල වන අතර ඒ ඔහු එවකට සිදුවූ පැහැරගැනීම් වලට ඔහු සම්බන්ද බවට විවිධ චොදනා එල්ල වී ඇති බැවිනි.
කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයන් ඇතුළු එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුවේ 14 වැනි විත්තිකරු වූයේ අද්මිරාල් වසන්න කරන්නාගොඩ යි.
මීට වසර කිහිපයකට පෙර දෙහිවල ප්‍රදේශයේදී දෙමළ ජාතික තරුණයින් පස් දෙනෙකු පැහැරගෙන යාමට එවක නාවික හමුදාපතිවරයා වූ වසන්ත කරන්නාගොඩගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාද සම්බන්ධ බව පොලිසිය අධිකරණයට පැවසිය.
2009 සිදු වූ එම පැහැරගැනීමට ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ සම්බන්ධ යයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන බව රහස් පොලිසිය සඳහන් කළේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කරමින්.
තරුණයින් පිරිස පැහැරගැනීම පිළිබඳ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්කි දුන් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ එවක ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා, අදාළ වකවානුවේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ පැහැරගෙන යාමේ සිද්ධීන් 11 කට සම්පත් මුණසිංහ නමැති නිලධාරියා සම්බන්ධ යයි පරීක්ෂණවලදී කරුණු අනාවරනය වූ බව කියා සිටියේය.
පැමිණිල්ලේ නීතිවේදියා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් එවක ස්ථානාධිපති නිශාන්ත ද සිල්වා කියා සිටියේ, මෙම පැහැරගෙන යාම පිළිබඳව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩත් දැනුවත්ව සිටි බවත් හෙළි වී තිබෙන බවයි.
එහෙත් අද්මිරාල් කරන්නාගොඩ පවසන්නේ ළමයින් අතුරුදන් වීමක් ගැන දැනගත් විට ඔහු නාවික හමුදාව ඇතුළත පරීක්ෂණ දෙකක් ඇරඹූ බවත් එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ද දැනුම් දී, අපරාධ පරීක්ෂණ දෙපාර්ත මෙන්තුවේ පරීක්ෂණ වලට සහය ලබා දුන් බවයි.
මේ පිළිබඳව අද්මිරාල් කරන්නාගොඩ අධිකරණ ක්‍රියාමාර්ගයකට ද එළබි ඇත.
කෙසේ නමුත්, හිටපු නාවික හමුදාපතිවරයාට එරෙහිව පවතින චෝදනා තවදුරටත් ඉදිරියට පවත්වාගෙන නොයන බව නීතිපතිවරයා පසුගිය අගෝස්තු 04 වැනිදා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට දැනුම් දුන්නේ ය.
අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩගේ නාවික හමුදා දිවිය
1971 අගෝස්තු 01 දා නාවික හමුදා සේවයට කැඩෙට් නිලධාරීයෙකු ලෙස එක්වූ ඔහු 2005 සැප්තැම්බර් 01 වැනි දින නාවික හමුදාපති වශයෙන් පත්කරන ලදී.
වසර 59ක් වූ නාවික හමුදා ඉතිහාසයේ, නාවික විධානයක ආඥාපතිව සිටින අතරතුර නාවික හමුදාපතිධුරය සඳහා පත්කරනු ලැබූ ප්‍රථම නිලධාරියා වන්නේ ඔහු යි.
සිය සේවා කාලය තුළ ද ඔහු බොහෝ ජයග්‍රහණයන් හිමිකර ගෙන ඇත. ශාස්ත්‍රපති උපාධීන් දෙකක් හිමිකරගත් ප්‍රථම නාවික නිලධාරියා වීමේ අවස්ථාව ද ඔහු සතු විය.
රාජකීය ජලතරණ ආයතනයේ සහ එක්සත් රාජධානියේ නාවික ආයතනයේ සාමාජිකයෙකු වන ඔහු, හවායිහි පිහිටි ආරක්ෂණ අධ්‍යයනය සඳහා වූ ආසියානු පැසිපික් මධ්‍යස්ථානයේත්, වොෂින්ටන් ජාතික ආරක්ෂණ විශ්වවිද්‍යාලයයේ නැගෙනහිර - දකුණු ආසියා උපායමාර්ගික සාමාජිකයෙකු ලෙස ද කටයුතුකර ඇත.
1987 වසරේ දී එක්සත් රාජධානියේ රාජකීය නාවික මාණ්ඩලික විද්‍යාපීඨයේ සහ පාකිස්ථානයේ පිහිටි ජාතික ආරක්ෂණ විද්‍යාපීඨයේ උපාධි පාඨමාලාවන් සඳහා සහභාගී වූ අද්මිරාල් කරන්නාගොඩ ඉන් විශිෂ්ඨ ලෙස සමත්වූ නිලධාරියෙකි.
ඔහු වසර හයක කාලයක් තුළ උතුර, නැගෙනහිර, බටහිර, සහ උතුරු මැද යනාදී වශයෙන් මෙහෙයුම් හා සෘජුව සම්බන්ධ වන නාවික විධානයන් හතරක්, හත්වරක් සිය ආඥාපතිත්වය යටතේ මෙහෙයවීමේ විරල අවස්ථාව සිය සේවා දිවිය තුළ අත්කර ගෙන ඇත.
නාවික හමුදාවේ 'අධ්‍යක්ෂ ජෙනරාල් - මෙහෙයුම්' වශයෙන් පත්වූ ප්‍රථම නිලධාරිවරයා ලෙස සඳහන් වන්නේ ද අද්මිරාල් කරන්නාගොඩ ය.
ඊට පෙර ඔහු අධ්‍යක්ෂ නාවික මෙහෙයුම්, අධ්‍යක්ෂ නාවික ව්‍යාපෘති හා සැලසුම් මෙන්ම, අධ්‍යක්ෂ නාවික පුද්ගල සහ පුහුණු වශයෙන් කටයුතුකර ඇත.
මෙයට අමතරව නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති වශයෙන් කටයුතු කිරිමේ අවස්ථාව ද ඔහු හිමිකර ගත්තේ ය.
තව ද, ඔහු බටහිර, දකුණ හා නැගෙනහිර නාවික විධානයන්හි නියෝජ්‍ය ආඥාපති වශයෙන් ද කටයුතුකර තිබේ.
ජලතරණ විද්‍යාව පිළිබදව විශේෂඥයෙකු ලෙස ද සැලකෙන අද්මිරාල් කරන්නාගොඩ නාවික හමුදාව සතු යාත්‍රා බොහෝ ගණනක විවිධ තනතුරු දරමින් සේවයකර ඇත.
ඔහුගේ අත්දැකීම්වලින් බහුල දිගු මුහුදු සේවා කාලය 1992 දී අවසන් වූ අතර, එවකට වූ වික්‍රම නෞකාවේ සේවය කරමින් සිටියේ ය.
ශ්‍රි ලංකා නාවික හමුදාපති වශයෙන් ක්‍රියාකරමින්, LTTE ත්‍රස්තවාදය නිමා කිරීමේ භාරදූර කර්තව්‍යයේ දී උපාය මාර්ගික වශයෙන් නාවික හමුදාව සවිමත් කිරීම හේතුකොට ගෙන එවකට ජනාධිපතිවරයා විසින් ඔහු අද්මිරාල් තනතුර වෙත උසස් කෙරිණි.
ශ්‍රි ලංකා නාවික හමුදා ඉතිහාසය තුළ සක්‍රීය සේවයේ යෙදි සිටින අතරතුරේ එම නිලයට පත් ප්‍රථම නාවික හමුදාධිපතිවරයා වශයෙන් ද වසන්ත කරන්නාගොඩ ඉතිහාසයට එක්වේ.
යුදබිමේ දී ප්‍රකට කළ වීරත්වය හේතුවෙන් ඔහු රණශූර පදක්කමෙන් පිදුම් ලබා ඇත.
ඊට අමතරව විශිෂ්ඨ සේවා විභූෂණය, උත්තම සේවා පදක්කම, ශ්‍රී ලංකා ජනරජයේ සන්නද්ධ සේවා පදක්කම, ශ්‍රි ලංකා නාවික හමුදා 50 වන සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දිරිය සේවා පදක්කම, ජනපති පදවි ප්‍රාප්ති පදක්කම, 50 වන නිදහස් සැමරුම් පදක්කම, උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, රිවිරැස මෙහෙයුම් සේවා පදක්කම ආදි වශයෙන් පදක්කම් රැසක් ද ඔහු සතු ය.
විශ්‍රාමික නාවික හමුදාධිපති වසන්ත කරන්නාගොඩ 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' යන ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේ 2019 වසරේ සැප්තැම්බර් 19 වැනි දින ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' යන ගෞරවනාමය සංක්තවත් කරමින් විශේෂ යෂ්ටියක් ද ඔහු වෙත ප්‍රදානය කළේ ය.
මෙම විශේෂ විශ්‍රාමික නොවන 'අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්' නිලය කැබිනට් අමාත්‍යවරයකුගේ තත්ත්වයට සමාන ය. රටක ත්‍රිවිධ සේවාවන් වෙනුවෙන් පිරිනමන මෙම ඉහළම ගෞරව සම්මානය තරු පහකින් අද්විතීය ලෙස සංකේතවත් කරන ගෞරවනීය හමුදා නිලයකි.