ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
T 20 ක්‍රිකට් ලෝක කුසලානය: කාගේත් අවධානය යොමු වූ මහා සංග්‍රාම දෙකක් අද
ලෝක ක්‍රිකට් තරඟ ඉතිහාසයේ මහා සංග්‍රාම දෙකක් අද ආරම්භ වෙයි. ඒ එක් සංග්‍රාමයක් වනුයේ, දරුණු එදිරිවාදිකම් වලින් සමන්විත ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයයි.
දේශපාලන මතභේද හේතුවෙන් පරම ප්‍රතිවාදී මෙම රටවල් ප්‍රධාන තරගාවලි වලින් පිටත ක්‍රීඩා කරන්නේ කලාතුරකිනි.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී ඉන්දියාව පාකිස්ථානයට එරෙහිව මුහුණ දුන් තරග 7 ම ජයගෙන තිබේ.
ඔවුන් අවසන් වරට මුණගැසුණේ 2019 එංගලන්තයේ පැවති ලෝක කුසලානයේදීයි. දෙරටේ පමණක් නොව ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ඇස අද පැවැත්වෙන මෙම තීරණාත්මක හා තියුණු තරගය දෙස යොමු වී ඇති බව නොරහසකි.
ශ්‍රී ලංකාව - බංග්ලාදේශ ගැටුම
අද දිනයේ ශ්‍රී ලංකාව සහ බංගාලාදේශය අතර තරගයද ඉන්දු - පාකිස්ථාන තරගයට නොදෙවෙනි වැදගත්කමක් ඇති සංග්‍රාමයකි.
2021 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය මෙයයි.
සුදුසුකම් ලැබීමේ වටයේදී නැමීබියාව, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමග පැවති තරග විශිෂ්ඨ ලෙස ජයගත් ශ්‍රී ලංකාව අද තරගයට මුහුණ දෙන්නේ අපරාජිත කණ්ඩායමක් ලෙසයි.
බංග්ලාදේශය, ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව පැවතී තරගයෙන් පරාජය වූවද ඕමානය හා පැපුවා නිව්ගීනියාව ට එරෙහි තරග දෙකම ජය ගනු ලැබීම හේතුවෙන් ඔවුන් සුපිරි 12 දෙනාගේ වටයට ඇතුල් විය.
බංග්ලාදේශය හැරුණු විට ශ්‍රී ලංකාව තරග වදින පළමු කාණ්ඩය යටතේ සිටින අනෙකුත් කණ්ඩායම් විස්සයි-20 තරග අංශයේ ප්‍රධානම රටවල් කීපයකි. එනම් වත්මන් ලෝක ශූර බටහිර ඉන්දීය කොදෙව්, ලෝක ශූර එංගලන්තය, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව යන කණ්ඩායම් එම කාණ්ඩයට ඇතුලත් වී ඇත. මේ අතරින් වැඩිම ජයග්‍රහණ සංඛ්‍යාවක් ලබන කණ්ඩායම් දෙක අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබන බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට ඇතුලුවීමට නම් ඉරිදා (ඔක්තෝම්බර් 24දා) පැවැත්වෙන තරගයේ සිටම දක්ෂතාවයන් පෙන්විය යුතු බවට විචාරකයන් පවසයි.
අද තරගය සඳහා ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ක්‍රීඩා නොකරණ බව මේවන විට වාර්තා වන්නේ පසුගිය තරඟයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි. මහීෂ් තීක්ෂණ වෙනුවට බිනරු ප්‍රනාන්දු අද තරගයට කැඳවා ඇත.
මෙරට වේලාවෙන් අද (ඔක්තොම්බර 24 දා) පස්වරු 3.30ට සාජා හිදී ආරම්භ වූ අතර එය සංග්‍රාමයක් බවට පත් වූයේ පළමු කඩුල්ල ලෙස ලිටන් ඩාස් දැවී ගිය අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් පිටිය තුළ ඇතිවිය.
ලහිරු කුමාර යැවූ පන්දුවකට දසුන් ශානක උඩ පන්දුවක් රැක ගැනීමෙන් ලිටන් ඩාස් දැවීගියේය. ඔහු පිටියෙන් නික්ම යාමට පෙර ලහිරු කුමාර ඔහු අසලට ගොස් බලා සිටින අයුරු රූප රාමුවල දිස්විය. එහිදී ක්‍රීඩකයින් දෙදෙනා අතර යම් වචන හුවමාරුවක් සමග මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.
බංග්ලාදේශයට එරෙහි ඉරිදා පැවති තරගයෙන් ශ්‍රී ලංකාව කඩුළු පහක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත් විය.
තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 4ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තේය.
බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් නයිම් ලකුණු 62ක් රැස් කළ අතර මුෂ්ෆිකුර් රහීම් නොදැවී ලකුණු 57ක් රැස් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවූ චාමික කරුණාරත්න, බිනුර ප්‍රනාන්දු සහ ළහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 18යි පන්දු 5ක් තුළ කඩුලු පහක් දැවී ලකුණු 172ක් රැස්කර ජයග්‍රහණය වාර්තා කිරීමට හැකිවිය.
එහිදී චරිත් අසලංක නොදැවී ලකුණු 80 කුත් භානුක රාජපක්ෂ ලකුණු 53කුත් රැස්කරමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය තහවුරු කෙරිණි. තරගයේ වීරයා සම්මානය චරිත් අසලංකට හිමි විය.
මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම, 2021 20/20 ලෝක කුසලාන තරගාවලියේ අපරාජිත කණ්ඩායමක් ලෙස තවදුරටත් රැඳී සිටිමට හැකියාව ලැබී ඇත.
මැද පෙරදිග ක්‍රිකට් ලෝලීන්ගේ ඉල්ලීම.
පසුගිය තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක, වනිදු හසරංග, චාමික කරුණාරත්න ඇතුළු ක්‍රිඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් සමඟ පිලිසදරක නිරතවන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගත හැකි විය.
එහිදී ක්‍රීඩාලෝලීන් ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගෙන් ඉල්ලා සිටියේ බංග්ලාදේශයට එරෙහිව අද පැවත්වෙන තරගයද ජයගෙන මෙවර ලෝක කුසලානය ජයග්‍රහණය කර දෙන ලෙසයි. තමන්ට ගෞරවයෙන් නැවත සේවා ස්ථාන වෙත යෑමට බංග්ලාදේශයට එරෙහි අද තරග ජයග්‍රහණය වැදගත් බව මැදපෙරදිග සේවය කරන එම ක්‍රීඩා ලොලීන් ශ්‍රී ලංකා ක්‍රිඩකයින් වෙත කියා සිටියේය.
මේ ගැනත් කියවන්න