ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ටෝකියෝ ඔලිම්පික් 2020: 'කට්ට කාගෙන' ඔලිම්පික් යන ශ්‍රී ලාංකික ක්‍රීඩා 'සම්පත්'
- Author, දැහැමි රණවීර
- Role, බීබීසී සිංහල
"ලංකාවේ ජිම්නාස්ටික් පුහුණුවෙන්න අවශ්‍ය පහසුකම් බොහොමයක් නැහැ. සම්පූර්ණ ජිම්නේසියම් එකක් (ජිම්නාස්ටික් පුහුණු වන ස්ථානයක්) තවම හදලා නැහැ. අඩු පහසුකම් යටතේ පුහුණු වෙමින් තමයි මම ඔලිම්පික් දක්වා මේ ගමන ආවේ," ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන මිල්කා ද සිල්වා බීබීසී සිංහල සේවය සමග කළ සාකච්ඡාවක දී පැවසීය.
මේ වන විට, ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ විවිධ ක්‍රීඩා ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සුදුසුකම් ලබා තිබෙන අතර ඉන් පස් දෙනෙක් කාන්තාවන්ය. කාන්තා කණ්ඩායමේ නායිකාව ලෙස මිල්කා ද සිල්වා නම් කර තිබේ.
18 වියැති මිල්කා 2011 සිට වසර ගණනාවක් ජිම්නාස්ටික් ජාතික ශූරතාව දිනා ගෙන ඇති අතර, කණිෂ්ඨ පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලිය, යොවුන් ඔලිම්පික් තරගාවලිය, ආසියානු කණිෂ්ඨ ශූරතා තරගාවලිය, ලෝක ශූරතාවලිය වැනි ජාත්‍යන්තර තරග රාශියක් නියෝජනය කළ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවකි.
පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ මිල්කා පාසලේ දෙවෙනි ශ්‍රේණියේ සිට ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරතවන්නීය.
ඉන්පසු පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයෙනුත්, කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයෙනුත් සිය අධ්‍යාපන කටයුතු සිදු කර ඇති ඇය දියණියන් තිදෙනෙකු සිටින පවුලක වැඩිමහල් දියණියයි.
"ජිම්නාස්ටික් ක්‍රීඩාවට පාසල්වල තිබුණේ මෙට්‍රස් දෙකක් විතරයි. පිළියන්දල පාසලේ ඉන්න කාලයේ අපිව පුහුණුවීම්වලට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට එක්කගෙන යනවා. කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ මේ ක්‍රීඩාව තිබුණේ නැහැ. මම පුහුණුවීම් කළේ පෞද්ගලික පන්ති ගිහින්.
මට දෙමාපියන්ගෙන් පූර්ණ නිදහස ලැබුණා මේ ක්‍රීඩාව කරන්න. විටින් විට සමහර පුද්ගලයන්, දේශපාලනඥයන් මගේ ගමනට උදව් කළා," මිල්කා පැවසුවාය.
ඇය මේ වන විට ජපානයේ ටෝකියෝ නුවර පුහුණුවීම් කටයුතුවල නිරත වන අතර, එහි පැමිණීමට ජපාන ජිම්නාස්ටික් සංගමය බොහෝ උදව් කළ බව ද පැවසීය.
ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් ලද ප්‍රථම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන මිල්කාගේ ප්‍රථම පුහුණුකරු චමින්ද ප්‍රනාන්දු වන අතර වත්මන් පුහුණුකරු රංජන තරංගය.
"ජපානයේ පුහුණුවීම්වලට ආවම තමයි දැක්කේ මෙහෙ ක්‍රීඩාවට තියෙන පහසුකම්. ලංකාවේ මේ ක්‍රීඩාව තව සෑහෙන දියුණු වෙන්න තියෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින දේවල්," ඇය තවදුරටත් පැවසීය.
මැතිල්ඩා කාල්සන්
ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලැබූ මුල්ම ක්‍රීඩිකාව 35 හැවිදිරි මැතිල්ඩා කාල්සන්ය. ඇය ඉදිරිපත් වන්නේ අශ්වාරෝහක තරග සඳහාය. එම ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන පළමු ක්‍රීඩිකාව ද මැතිල්ඩාය.
වයස මාස තුනක් වන විට මැතිල්ඩාගේ භාරකාරීත්වය ස්වීඩන් ජාතික යුවළකට පවරා තිබිණි. ඇය අශ්වාරෝහකයෙකු ලෙස සිය ක්‍රීඩා ගමන ආරම්භ කර ඇත්තේ ස්වීඩනයේ සිටය.
"ස්වීඩනයට මම බොහොම ආදරය කරනවා. ඒ රටේ මෙය ක්‍රීඩාවකට වඩා සමාජයේම කොටසක් හැටියටයි තිබෙන්නේ. අශ්වාරෝහකයෙකු වෙන්න ඉගෙන ගන්නවාට වඩා, එකිනෙකා එක්වෙලා හඳුනාගන්නා ස්ථාන හැටියටයි ඒ පාසල් සලකන්නේ.
මාව ස්වීඩනයට අරගෙන ගියාට පස්සේ පළමු වතාවට මම ලංකාවට ආවා. එතකොට දැක්කා මේ රටේ සහ මිනිසුන්ගේ සුන්දරත්වය. නමුත් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම මානසිකව පහසු කටයුත්තක් වුණේ නැහැ," මැතිල්ඩා පැවසීය.
ශ්‍රී ලංකාවට පැමිණි මැතිල්ඩාට පුරවැසිභාවය ලබා දී ඇත්තේ ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය කිරීමේ අරමුණින්ය. ඇය තරගයට සහභාගී වනු ඇත්තේ 'චොපින්' නම් අශ්වයා සමගය.
ටෙහානි එගොඩවෙල
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවයේ නියුතු ටෙහානි එගොඩවෙල ඉලක්කයට වෙඩි තැබීමේ ඔලිම්පික් තරග ඉසව්වලට සුදුසුකම් ලබා ඇත. කාන්තා මීටර් 10 වායු රයිෆල් ඉසව්වට ඇය ඉදිරිපත් වීමට නියමිතය. අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරග අංශයෙන් ඔලිම්පික්වලට සහභාගී වූයේ පුෂ්පමාලි රාමනායකය. ඒ, 2004 වසරේ දී ය.
මේ තොරතුරු ද කියවන්න:
නිමාලි ලියනාරච්චි
නිමාලි කාන්තා මීටර් 800 ඉසව්වෙන් ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිතය.
2019 ලෝක ආරක්ෂක ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් රිදී පදක්කමත්, 2016 දකුණු ආසියානු තරගාවලියේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඇය සමත් විය.
2015 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමත්, 2017 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කමත් දිනාගත්තාය.
අනිකා ගෆූර්
17 හැවිරිදි අනිකා මෙවර ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් සුදුසුකම් ලබාගත් ළාබාලත ම ක්‍රීඩිකාවයි.
ඇය තායිලන්තයේ දිවිගෙවන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියානු තරගාවලියේ දී මීටර් 100 මෙඩ්ලි සහාය සහ මීටර් 100 සමනල ආර පිහිනුම් ඉසව් සඳහා රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගත්තාය.
සමනල ආර තරග ඉසව්වක් යටතේ ඔලිම්පික් සුදුසුකම් ලද මුල්ම ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රීඩිකාව වන්නේ අනිකාය.
ටෝකියෝ ඔලිම්පික් යන ක්‍රීඩකයන්
යුපුන් අබේකෝන්
මීටර් 100 දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීය.
1996 ඇට්ලන්ටා ඔලිම්පික් උළෙල නියෝජනය කළ චින්තක ද සොයිසාගෙන් වසර 25 කට පසු ඔලිම්පික් උළෙල මීටර 100 ඉසව්ව නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ යුපුන් අබේකෝන්ය.
චාමර නුවන් ධර්මවර්ධන
ගුවන් හමුදා කෝප්‍රල් චාමර නුවන් ධර්මවර්ධන සැහැල්ලු බර පන්ති ජූඩෝ ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගී වේ.
28 වියැති චාමර වයස අවුරුදු 15 සිට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරගවලට සහභාගී වී වෙමින් පදක්කම් රාශියක් ලබා ගෙන ඇත.
චාමර 2016 වසරේ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ද සහභාගි වූ අතර තම බර පන්තියෙන් 9 වන ස්ථානය දිනා ගැනීමට සමත් විය.
නිලූක කරුණාරත්න
ඔහු බැඩ්මින්ටන් ඒකල ඉසව් සඳහා සහභාගී වීමට නියමිතය.
2012 ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ බැඩ්මින්ටන් පිරිමි ඒකල ඉසව්වට සහභාගී වුණු නිලූක පළමු වටයේ දී ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල අංක 8 ක්‍රීඩකයා වූ ජපානයේ කෙනිචි ටාගෝ තරග වට 2-0ක් ලෙසින් පරාජයට පත් කළේය.
2016 ඔලිම්පික් තරගාවලියේ ද ඔහු පළමු වටවල ජයග්‍රහණ ලැබීය.
මැතිව් අබේසිංහ
පිහිනුම් මීටර් 100 නිදහස් ආර ඉසව්ව යටතේ මැතිව් දෙවෙනි වරටත් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා තිබේ.
2016 සහ 2019 වසරවල දී පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිවල දී රන් පදක්කම් 7 බැගින් දිනාගත් ඔහු, දකුණු ආසියානු පිහිනුම් වාර්තා හයකට හිමිකම් කියයි.
ඔලිම්පික් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 'බර ගණනක්'?
ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගී වන නිලධාරීන් පිරිස සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල වාර්තා වන පුවතක් සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කර තිබිණි.
ක්‍රීඩකයින් ඇතුළු නිලධාරීන් 58 ක් රුපියල් ලක්ෂ 220 ක මුදලක් වැය කරමින් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වීමට සැලසුම් කර ඇති බවට පළවන සමාජ මාධ්‍ය වාර්තා සාවද්‍ය බව එම නිවේදනයේ සඳහන් වේ.
ක්‍රීඩකයන් නව දෙනාට අමතරව නිලධාරීන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ටෝකියෝ බලා යනු ඇති බව එහි සඳහන් වේ.
කෙසේ නමුත්, සමාජ මාධ්‍යවල පළ වී තිබූ රුපියල් ලක්ෂ 220 ක මුදල නිවැරදි අතර, එම මුදල් ලබා දෙන ආකාරය ගැන පැහැදිලි කරන ජාතික ඔලිම්පික් කමිටුව පවසන්නේ ඉන් 41.4 %ක් හෙවත් රුපියල් ලක්ෂ 92 ක් තම ආයතනය මගින් ලබා දෙන බවය.
ඉතිරි 58.7 % හෙවත් රුපියල් ලක්ෂ 129 ක මුදල ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දෙන බව නිවේදනයේ සඳහන් වේ.
එම ලක්ෂ 129 න් 43% ක ප්‍රතිශතයක් එනම් ලක්ෂ 57 ක් කොවිඩ් තත්ත්වය මත සිදුවන වියදම්, ගුවන් ප්‍රවේශපත්‍ර, නවාතැන් සහ මාධ්‍යවේදීන් හය දෙනෙක්, ප්‍රභූන් සඳහා වූ නවාතැන් පහසුකම්, තුරඟ තරග සඳහා අශ්වයා ප්‍රවාහනය, වෙඩි තැබීමේ ඉසව්ව සඳහා ආම්පන්න වෙනුවෙන් වෙන් කර තිබේ.