සිරස: ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව සැලසුම් සහගත මාධ්‍ය මර්දනයක යෙදෙන බවට චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මහින්ද රාජපක්ෂ යුගයේ පැවති මාධ්‍ය මර්දනය මේ වන විට සැලසුම් සහගතව වෙනස් මුහුණුවරකින් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ඇතැම් මාධ්‍යවේදීහු සහ මාධ්‍ය සංවිධාන චෝදනා කරති.
ආසන්නතම උදාහරණ ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ, උද්ඝෝෂණ පැවැත්වීම වළකාලමින් ආණ්ඩුව නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ ආණ්ඩුව විවේචනය කරමින් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල ඔස්සේ අදහස් පළ කරන පුරවැසියන් අත්අඩංගුවට ගැනීමය.
එමෙන්ම, ආණ්ඩුව වෙත එවැනි චෝදනාවක් එල්ල වන්නේ, සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තැතක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට විපක්ෂ නායකවරයා ආණ්ඩුවට චෝදනා කර ඇති පසුබිමකදීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඒ බව කියා සිටියේ බදාදා (ජුලි 08) පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමිනි.
ආණ්ඩු පක්ෂය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
'සැලසුම් සහගත මර්දනයක්'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
2015 ට පෙර, මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙන් මාධ්‍යවේදී ඝාතන සහ පැහැර ගැනීම් දක්නට නැතත් වෙනස් ක්‍රමවේද භාවිත කරමින් මාධ්‍ය දැඩි ග්‍රහණයකට හසු කර ගන්නා ස්වභාවයක් දක්නට ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික නීතීඥ විරංජන හේරත් පවසයි.
"උදාහරණයක් විදිහට අපි පසුගිය කාලයේ දැක්කා නව මාධ්‍ය (New media), සමාජ ජාල පාලනය කරන්න, අන්තර්ජාල නිදහස පාලනය කරන්න යම් යම් නීති ගෙන ඒමේ උත්සාහයන් සහ කතිකාවන් සිදු වුණා. ෆේස්බුක් අවකාශය ඔස්සේ අදහස් පළ කළ විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීම් වාර්තා වුණා." යනුවෙන් ඔහු කියා සිටියේ BBC සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.
සමාජ ජාල තුළ අදහස් පළ කළ උතුරු සහ නැගෙනහිර පළාත්හි ඇතැම් තරුණයන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ මාස ගණනක් රඳවා තබා ගෙන සිටින බව ද නීතීඥ විරංජන හේරත් පෙන්වා දෙයි.
"මේක හොඳ තත්ත්වයක් නෙමෙයි"
"මේ වගේ සිදුවීම්වල වර්ධනයක් අපි දකිනවා. මේක හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ එක්කම සමාජ ජාල පාලනයට යම් නීති ගෙන ඒමට ආණ්ඩුවේ යම් උත්සාහයක් පවතින බවක් අපට පෙනෙන්න තිබෙනවා,"
"මර්දනය කියන දේ විවිධ ස්වරූපවලින් එන්න පුළුවන්. මර්දනය තුවක්කුවක් අරගෙන හෝ මුහුණට මුහුණ ප්‍රහාරයක් ලෙස එන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව සූක්ෂමව විරුද්ධ මත තිබෙන අය නිහඬ කර, ඔවුන් බිය ගන්වා, දිගින් දිගටම ඔවුන් පොලිසියේ ප්‍රශ්න කිරීම්වලට ලක් කර නීතිය අවභාවිත කර, සැලසුම් සහගත සහ විවිධ නව උපක්‍රම භාවිත කර එවැනි දේ හරහාත් මර්දනය ක්‍රියාත්මක කළ හැකියි,"
"ඒ කියන්නේ උපායමාර්ග වෙනස් කර, වෙනස් මුහුණුවරකින් මර්දනය කියන දේ සිද්ධ වෙන්න පුළුවන්"
"මේ රජය බලයට පත් වූ පසු මාධ්‍ය මර්දනය කියන දේ වෙනස්ම මුහුණුවරකින් කරලියට ඇවිත් තිබෙනවා. ඒක වෙන්නේ සුමුදු, සුමට ස්වභාවයක් යටතේ. බොහෝ මාධ්‍ය ආයතන, අදාළ න්‍යාය පත්‍රයට අනුව තෝරා ගත් සිදුවීම් විවේචනය කරනවා. ජනතාවට තිබෙන දැවැන්ත ප්‍රශ්න සහ ගැටළු ගැන, ඒ ප්‍රධාන මාධ්‍ය කතා කරන්නේ නැහැ. සමාජ ජාලයේ ගොසිප් වගේ කතා ඉස්සරහට දාලා ඒවා ලොකු ප්‍රශ්න බවට පත් කරනවා. හැබැයි සැබෑ ප්‍රශ්න කතා කරන්නේ නැහැ." යනුවෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ විධායක කමිටු සාමාජික නීතීඥ විරංජන හේරත් සඳහන් කළේය.
අනෙක් අතට ජනතාව සමීපයට ගොස් ඔවුන්ගේ සැබෑ ගැටළු අවධානයට ලක් කරන ඇතැම් මාධ්‍ය ඉලක්ක කර ගනිමින් මර්දනයක් ක්‍රියාත්මක වීමේ අවදානමක් පවතින බව ඔහු වැඩිදුරටත් පැවසීය.
'සිරස' විකාශන බලපත්‍රය තහනම් කිරීමේ තැතක්?

ඡායාරූප මූලාශ්‍රය, PA Media
"රජයේ ඉහළ පෙළ කණ්ඩායමක්, නීතිඥවරුන් ඒකරාශී කරගෙන සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය, කුමන හෝ නීතිමය තත්ත්වයක් තුළ අහිමි කිරීමට ලොකු කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙන බවට විශ්වසනීය තොරතුරු ලැබී" ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බදාදා (ජුලි 07) පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.


"මම ඉල්ලීමක් කරනවා ආණ්ඩුවෙන්, මෙහෙම රටට ඇත්ත කතා කරන සිරස මාධ්‍ය ජාලය මර්දනය කරන්න එපා. මේ ආණ්ඩුව දැන් ප්‍රකාශයක් කරන්න ඕනි එහෙම සිරස මර්දනය කරන්න කටයුතු කරන්නේ නැහැ කියලා. මේ ආණ්ඩුව ආය පාරක් සිරසට ක්ලේමෝ බෝම්බ ගහන්න හදනවාද?"
"රටක් වුණාම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබිය යුතුයි. මාධ්‍ය ඒක පාක්ෂිකව ගියොත්, මාධ්‍ය ආණ්ඩුවට විතරක් කඩේ ගියොත් මේක රටක් වෙන්නේ නැහැ. ඒ නිසා මාධ්‍ය ආරක්ෂා කරන්න." යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
ආණ්ඩුවේ ප්‍රතිචාරය

ඡායාරූප මූලාශ්‍රය, Parliament of Sri Lanka
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, සිරස මාධ්‍ය ජාලයට එරෙහිව යම් මර්දනකාරී පියවරක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට සාක්ෂි ඇත්දැයි ප්‍රශ්න කළේය.
"සිරස මර්දනය කරනවා කියලා කොහෙද තියෙන්නේ? කවුද ඒ සඳහා නියමයක් කළේ? මොකක්ද අරන් තිබෙන පියවර?"
"රජය හෝ ජනාධිපතිතුමා විසින් කිසිම මාධ්‍යක් මර්දනය කරන්න කිසිම පනතක් හෝ පනත් කෙටුම්පතක් සකස් කර නැහැ. නීතියට විරුද්ධ කිසිම දෙයක් කරන්නේ නැති රජයක් බව කියන්න කැමතියි."
"මේ රටේ කිසිම මාධ්‍යක් මර්දනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ කිසිදාක, කිසියම්ම පියවරක් ගෙන නෑ." යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ අතර විද්‍යුත් මාධ්‍ය සංඛ්‍යාත අයිතිය ජනතාව සතු වුවත් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන පාලනය වන්නේ හාම්පුතුන්ගේ අවශ්‍යතා අනුව බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසීය.
"සදාචාරය හෝ විනීත බව පවතින තාක් එය හොඳයි. එහෙත් එය අහිබවා ගිය විට අදාළ පුද්ගලයන්ට අප කතා කළ යුතුයි. එක් විශේෂිත ආයතයක් පිළිබද නෙමෙයි, එහෙත් අපි අනිවාර්යයෙන්ම මේ ගැන අධ්‍යනය කරමින් සිටිනවා." යනුවෙන් ඔහු කියා සිටියේ සිරස මාධ්‍ය ජාලයේ බලපත්‍ර අවලංගු කිරීමේ තැතක් පවතින බවට එල්ල වෙන චෝදනාව පිළිබඳ BBC සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.











