කොරෝනා වෛරසය: එන්නත ලැබූ ශ්‍රී ලාංකිකයෙක් - "අපි දිගටම අත් සෝදන්න ඕනේ, මාස්ක් දාන්න ඕනේ"

විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් (Dr Prem Premachandran)

ඡායාරූප මූලාශ්‍රය, Iedii.org

    • Author, සරෝජ් පතිරණ
    • Role, BBC සිංහල

කෝවිඩ්-19 රෝගය මර්දනය කිරීම පිණිස නිපදවන ලද එන්නතක් මුලින්ම ලැබුණු පිරිස අතරට එක්වීම භාග්‍යයක් බව පවසන බ්‍රිතාන්‍යවාසී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්, තවදුරටත් සිය රෝගීන් බේරාගැනීම පිණිස කැපවීම සඳහා එය මහත් පිටුවහලක් බව සඳහන් කරයි.

පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් 08) බ්‍රිතාන්‍යය දියත්කළ මහා පරිමාණ එන්නත් ලබාදීමේ වැඩසටහනක කොටසක් ලෙස ලොව ප්‍රථම වරට ෆයිසර් (Pfizer) කොවිඩ් -19 එන්නත ලබා ගත් පුද්ගලයා බවට පත් වූයේ එක්සත් රාජධානියේ දිවිගෙවන 91 හැවිරිදි මිත්තණියකි.

ඇයට එන්නත දෙනු ලැබුවේ ග්‍රිනිච් වේලාවෙන් එදින උදෑසන 06:31 ටය.

දකුණු එංගලන්තයේ, සරේ ප්‍රදේශයේ ෆ්‍රිම්ලි පාක් (Frimley Park Hospital) රෝහලේ විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් ට එම එන්නත ලැබුණේ එදිනම උදෑසන 8 ටය. එම රෝහලෙන් එන්නත ලබාදුන් පළමු පුද්ගලයා ඔහුය.

ඒ අනුව ඔහු කොරෝනා වෛරසයට එරෙහි එන්නත ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා ද විය හැකිය.

Margaret Keenan receiving vaccine

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, එන්නත ලැබූ පළමු පුද්ගලයා - 91 හැවිරිදි මාග්‍රට් කීනන්

යාපනයේ උපත ලබා තිබෙන වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන්, වසර 24 ක් මුළුල්ලේ බ්‍රිතාන්‍යයේ වාසය කරයි.

"ඒක හරියට උණට දෙන එන්නතක් වගේ. මට කිසිම වෙනසක් දැනුනෙත් නෑ, මේ වනතුරු කිසිම අතුරු ආබාධයකුත් නෑ. මම අදත් වැඩට ගියා."

බීබීසී සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් ඔහු එසේ කියා සිටියේ එන්නත ලබාගැනීමෙන් දිනකට පසුවය.

"මේක මුල්ම එන්නත නිසා ප්‍රතිඵලය මොකක් වෙයිද දන්නේ නෑ."

අතුරු ආබාධ

විශේෂයෙන්ම මුලින්ම මෙවැනි එන්නතක් ලබා ගැනීම කෙතරම් ආරක්ෂා සහිත දැයි කළ විමසීමට පිළිතුරු දුන් විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් කියා සිටියේ, එය බොහෝ පරීක්ෂණවලින් පසුව නිසි පරිදි නිපදවන ලද එන්නතක් බවය. එමෙන්ම මෙතෙක් කිසිදු අතුරු ආබාධයක් වාර්තා වී නොමැති බව ද ඔහු පැවසීය.

එන්නත

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

මේ අතර ආහාර, ඖෂධ හෝ එන්නත්වලට බරපතල ආසාත්මිකතා තිබෙන පුද්ගලයන් ෆයිසර්/බයෝඑන්ටෙක් (Pfizer/BioNTech) එන්නත ගැනීමෙන් වැලකී සිටිය යුතු බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීහු බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 10) නිවේදනය කළහ.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය නිෂ්පාදන පාලක ඒජන්සිය එම අනතුරු ඇඟවීම කළේ, එන්නත ලබාගත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයේ නිරත පුද්ගලයන් දෙදෙනකුට ආසාත්මිකතා මතුවීමෙන් අනතුරුවය.

නව එන්නත ලබාගැනීමත් සමගම ආසාත්මිකතා මතු වූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාරවලින් අනතුරුව සුවය ලබා සිටිති.

Coronavirus Sri Lanka
Coronavirus Sri Lanka

'අපිට තියෙන එකම ආරක්ෂාව එන්නත විතරයි'

"මම දිනපතාම කෝවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කළා. නමුත් අපේ රෝහලේ එතරම්ම නරක තත්ත්වයක් තිබුණේ නෑ," රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානියාවන විශේෂඥ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන් පැහැදිලි කළේය.

"එකම දේ තමා හදිසියෙවත් කිසිම කොරෝනා රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැති රෝගියෙක් - අපි එයාලට කියන්නේ super spreaders කියල - රෝහලට ඇතුළත් වුනොත් වෙනත් රෝගයකට ප්‍රතිකාර ගන්න, ඒ වෙලාවට අපි ලොකු අර්බුදයකට මුහුණ දෙනවා."

ඔහු දෙදරු පියෙකි.

සිය පියා සහ ස්වාමි පුරුෂයා දිනපතා කොරෝනාවෛරස රෝගීන්ට ප්‍රතිකාර ගැනීම ගැන පවුලේ සාමාජිකයන් විරෝධයක් නොදැක්වූයේ ද?

"මම මෙහෙම කියන්නම්. මට එන්නත ලැබුණ එක ගැන එයාල හොඳටම සතුටුයි. මොකද අපිට තියෙන එකම ආරක්ෂාව එන්නත විතරයි."

මැලේරියාව වැනි වෙනත් බරපතල වෛරස රෝගවලට එන්නත් සොයා ගැනීම පිණිස වසර 5-10 ත් අතර කාලයක් ගත වූ බව පෙන්වාදෙන විශේෂඥ වෛද්‍යවරයා, ඒඩ්ස් වැනි වෛරස රෝගයක් සඳහා තවමත් එන්නතක් සොයාගෙන නොමැති බවත් සිහිපත් කළේය.

"ප්‍රතිකාර කරන කොට අපි රෝගීන් කොටස් තුනකට බෙදුවා. අධි සත්කාර ඒකකයට ඇතුළත් කළ යුතු අසාධ්‍ය රෝගීන්, රෝහලට ඇතුළත් කළ යුතු රෝගීන් සහ සුලු රෝග ලක්ෂණ තිබුන රෝගීන්. ඒ තුන්වෙනි කාණ්ඩයේ රෝගීන් ට අපි උපදෙස් දුන්නා නිවසේදී විවේක ගන්න කියල."

පසුගිය මාස කිහිපය තුළ තමන් මුහුණ දුන් අත්දැකීම් තවදුරටත් විස්තර කළ වෛද්‍ය ප්‍රේම් ප්‍රේමචන්ද්‍රන්, "පළවෙනි රැල්ල ආපු වෙලාවේ අපි බොහෝ දේවල් දැනගෙන හිටියේ නෑ. ඒත් දෙවෙනි රැල්ල එනකොට තත්ත්වය වෙනස්," යනුවෙන් සිහිපත් කළේය.

"දෙවෙනි රැල්ලේ දි අපි සමහර රෝගීන්ට වෛරස නාශක බෙහෙත් දුන්නා, සමහරුන්ට ස්ටෙරොයිඩ් (steroid) දුන්නා. බොහෝ වෙලාවට ඒකෙන් රෝගය සුව නොවුණත් රෝහලට ඇතුළත් කිරීම පමා කරන්න හෝ රෝහලේ ගතකරන කාලය අඩුකරන්න පුළුවන් වුණා."

Margaret Keenan, 90, is the first person in Britain to receive the Pfizer/BioNTech vaccine

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පළමුවෙන් එන්නත ලබා ගත් මාග්‍රට් කීනන්ට රෝහල් කාර්යමණ්ඩලයේ ආචාරය

'තව ගොඩක් දුර යන්න තියෙනවා'

තමන් ඇතුළු පිරිසකට එන්නත ලැබුණ නමුත් එමගින් සියල්ල නොවිසඳෙන බව ද වෛද්‍ය ප්‍රේමචන්ද්‍රන් අවධාරණය කරයි.

"එන්නතක් සොයාගැනීම කියන්නේ ඉතාම හොඳ තත්ත්වයක්. නමුත් අපිට තවත් ගොඩක් දුර යන්න තියෙනවා."

පළමු එන්නත ලබාගැනීමෙන් දින 21 කට පසුව ඔහු එහි දෙවෙනි මාත්‍රය ලබාගත යුතුය. එක මාත්‍රයක් මගින් රෝගය යළි වැළඳීම 70% කින් අඩු කරන අතර, දෙවෙනි මාත්‍රය ලබාගත් විට එය 90% ක් දක්වා ඉහළ යයි.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව මුලින් අනුගමනය කළ "රෝගය බෝ වී සුව වීමේ" ක්‍රමවේදය (Herd immunity) යටතේ බ්‍රිතාන්‍යයේ ජනතාව සම්පූර්ණයෙන්ම රෝගයට ප්‍රතිශක්තිය ලබාගැනීම පිණිස අඩුම තරමින් ජනගහනයෙන් තුනෙන් දෙකකට රෝගය බෝ විය යුතු බව පවසන වෛද්‍ය ප්‍රේමචන්ද්‍රන්, එය මිලියන 44 ක ජනකායක් බැවින් එවැන්නක් පහසු ඉලක්කයක් නොවන බව ද පෙන්වා දුන්නේය.

"ඒ නිසා එන්නතක් ලබාගත්ත කියන්නේ අත් සෝදන්න, පුද්ගල දුරස්ථභාවය තබාගන්න, මාස්ක් පළඳින්න අනවශ්‍යයි කියන එක නෙමේ. අපි ඒවා දිගටම කරගෙන යන්න ඕනේ."

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

වීඩියෝ ශීර්ෂ වැකිය, කොරෝනා වෛරසය: ආරක්ෂිත සහ වඩාත් අනතුරුදායක ක්‍රියා මොනවාද?

තවත් ලිපි: