එක්සත් රාජධානිය: ෆයිසර් කොරෝනාවෛරස එන්නත ලබා ගත් පළමු පුද්ගලයා - මාග්‍රට් කීනන්

Margaret Keenan receiving vaccine

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, මාග්‍රට් කීනන්

මහා පරිමාණ එන්නත් ලබාදීමේ වැඩසටහනක කොටසක් ලෙස ලොව ප්‍රථම වරට ෆයිසර් (Pfizer) කොවිඩ් -19 එන්නත ලබා දුන් පුද්ගලයා බවට පත් වී ඇත්තේ එක්සත් රාජධානියේ දිවිගෙවන මිත්තණියකි.

ලබන සතියේ 91 වන වියට පා තබන මාග්‍රට් කීනන් පැවසුවේ මෙය "උපන්දිනයට පෙර ලැබුණු හොඳම තෑග්ග" බවය.

ග්‍රීනිච් වේලාවෙන් 06:31 ට ඇයට එන්නත ලබා දී ඇත. එය එක්සත් රාජධානිය ලබා ගත් ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත් මාත්‍රා 800,000 න් පළමුවැන්න වන අතර ඉතිරිය ඉදිරි සතිවලදී බෙදා හරිනු ඇත.

Margaret Keenan receiving vaccine

ඡායාරූප මූලාශ්‍රය, Pool

ඡායාරූප ශීර්ෂ වැකිය, මාග්‍රට් කීනන් එන්නත ලබා ගනිමින්

මෙම මස අවසන් වන විට තවත් මිලියන හතරක් දක්වා එන්නත් ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

එක්සත් රාජධානියේ කේන්ද්‍රස්ථානවලින් වයස අවුරුදු 80 ට වැඩි පුද්ගලයන්ට සහ සමහර සෞඛ්‍ය හා සත්කාර කාර්ය මණ්ඩලයට ද එන්නත ලබා දෙනු ඇත.

කොරෝනාවෛරසයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි අයව ආරක්ෂා කර ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම මෙම වැඩසටහනේ අරමුණු වී තිබේ.

"මෙම එන්නත් ක්‍රියාවලිය විද්‍යාත්මක ප්‍රයත්නයක සහ මානව දක්ෂතාවය සහ වෙහෙස මහන්සි වූ බොහෝ මිනිසුන්ට උපහාරයක්" යැයි බ්‍රිතාන්‍යය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.

"අද අපේ පොදු සතුරා වන කොරෝනාවෛරසයට එරෙහි සටනේ ආරම්භය සනිටුහන් කරනවා," ඔහු පැවසීය.

පළමු පිරිසට එන්නත ලබා දීම දැක බලා ගැනීම සඳහා ලන්ඩන් රෝහලට ගිය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, "ඔබට යහපතක් වන අතර මෙය මුළු රටටම යහපතක්" යැයි පැවසීය.

කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාල රෝහලේ හෙද පාලක මැයි පාර්සන්ස් මාග්‍රට් කීනන්ට පළමු එන්නත ලබා දුන්නාය.

"කෝවිඩ් -19 ට එරෙහිව එන්නත ලබා ගත් පළමු පුද්ගලයා වීමට ලැබීම මට මහත් ආඩම්බරයක්" යැයි මාග්‍රට් කීනන් පැවසුවාය.

"මෙය මට ප්‍රාර්ථනා කළ හැකි උපන්දිනයට පෙර ලැබෙන හොඳම තෑග්ගයි. මේ අවුරුද්දේ වැඩි කාලයක් තනියම සිටීමෙන් පසු මට නව වසරේ දී මගේ පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට බලාපොරොත්තු වෙනවා."

"එන්නත ලැබෙන ඕනෑම කෙනෙකුට එය ලබා ගන්න කියන එක තමා මගේ උපදෙස. අවුරුදු 90 දී මට මෙය ලබා ගත හැකි නම් ඔබටත් එය ලබා ගත හැකියි," ඇය තවදුරටත් පැවසීය.

එන්නත ලබා ගත් දෙවෙනි පුද්ගලයා වන්නේ වෝවික්ෂයර්හි පදිංචි 81 හැවිරිදි විලියම් ෂේක්ස්පියර්ය. එන්නත ලබා ගැනීම ගැන "සතුටු" වන අතර, රෝහල් කාර්ය මණ්ඩලයටද ඔහු සිය ප්‍රසාදය පළ කළේය.

William Shakespeare getting the vaccine

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, එන්නත ලබා ගත් දෙවෙනි පුද්ගලයා විලියම් ෂේක්ස්පියර්

දෙසැම්බර් අට වෙනිදා උදෑසන එක්සත් රාජධානියේ රෝහල් පනහක පමණ රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින්ට එන්නත් ලබා දීම සිදුව තිබේ.

බෙල්ෆාස්ට් හි එන්නත් ක්‍රියාවලිය සකස් කිරීමේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ප්‍රධාන හෙදිය වන ජොආනා ස්ලෝන්, ග්‍රීනීච් මධ්‍යහන වේලාවෙන් 8.00ට උතුරු අයර්ලන්තයේ එන්නත ලබා ගත් පළමු පුද්ගලයා බවට පත් විය.

Sister Joanna Sloan

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, උතුරු අයර්ලන්තයේ ජොආනා ස්ලෝන් එන්නත ලබා ගන්නා අවස්ථාවේ හැඟුම්බර වී

වේල්සයේ එන්නත ලබා ගත් පළමු පුද්ගලයා වූයේ 48 හැවිරිදි ක්‍රේග් ඇට්කින්ස්ය. එය "බියජනක" නමුත් ඔහුට දැන් සිනහ විය හැකි බව ඔහු පැවසීය.

ස්කොට්ලන්තයේ පළමු එන්නත ලබා ගත් පුද්ගලයින් අතර සිටින නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කේටි ස්ටුවර්ට් කියා සිටියේ "ඉතා දිගු අමාරු වසරකින්" පසු සහ කොවිඩ් රෝගීන් රැකබලා ගැනීමෙන් ද එකිනෙකා ආරක්ෂා කර ගැනීම සඳහා වෙන්ව සිටීමෙන් ද පසු මෙය සැමරීමට හැකි අවස්ථාවක් බවය.

පසුගිය සතියේ දී ඖෂධ නියාමකයින් අවසර ලබා දීමෙන් පසු ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කළ ලොව පළමු රට එක්සත් රාජධානියයි.

පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් අවධාරණය කළේ ජනතාවට එන්නත සඳහා අයදුම් කිරීමට අවශ්‍ය නොවන බවය. බ්‍රිතාන්‍යය සෞඛ්‍ය සේවා අදාළ පුද්ගලයන් සමඟ සම්බන්ධ වනු ඇති අතර,"කරුණාකර ඔබේ රට වෙනුවෙන් ඉදිරියට යන්න" යැයි ඔහු සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

කොරෝනාවෛරසය පරාජය කරන මාවතේ සිටියද "තවත් බොහෝ දුර යන්නට තිබෙන" අතර, එසෙක්ස්, ලන්ඩන් සහ කෙන්ට් යන ප්‍රදේශවල වෛරසය තවදුරටත් පැතිරී යාම ගැන "කනස්සල්ලට" පත් වන බව ද මැට් හැන්කොක් පැවසීය.

60,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති නමුත් එක්සත් රාජධානිය වසංගතයේ දෙවෙනි රැල්ලේ උච්චතම අවස්ථාවේ පසුවන බවට ලකුණු තිබේ. මෙම මරණ සංඛ්‍යාවට ඇතුළත් වී ඇත්තේ වෛරසය ආසාදනය වී දින 28 ක් තුළ මියගිය පිරිස පමණි.

ජාතික සංඛ්‍යාලේඛන දත්තවලින් පෙනී යන්නේ නොවැම්බර් 27 න් අවසන් වූ සතියේ ලියාපදිංචි වූ මරණ 14,106 න් 3,400කට ආසන්න සංඛ්‍යාවක් කොරෝනාවෛරසයට සම්බන්ධ බවය.

මෙය පස් අවුරුදු සාමාන්‍යයට වඩා 20% වැඩි නමුත් පසුගිය සති දෙක තුළ දක්නට ලැබෙන ප්‍රතිශතයට සමාන වේ.

ලන්ඩනයේ 'ගයිස්' රෝහලට ගිය අවස්ථාවේදී අගමැති බොරිස් ජොන්සන් 81 හැවිරිදි ලින් වීලර් සමඟ කතා බහක නියැලිනි. එම රෝහල තුළ එන්නත ලබා ගත් පළමු තැනැත්තා ඇයයි.

Prime Minister Boris Johnson applauds after nurse Rebecca Cathersides administers the vaccine to Lyn Wheeler

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, ගයිස් රෝහලට ගිය බ්‍රිතාන්‍ය අගමැති

"මෙය සිදු කරන්නේ බ්‍රිතාන්‍යය වෙනුවෙන් බව ඇය පවසනවා ඇසීම ඇත්තෙන්ම සතුටට කරුණක්. එය නිවැරදියි - ඇය තමාව ආරක්ෂා කරගන්නවා පමණක් නොව මුළු රටම ආරක්ෂා කිරීමටද උදව් කරනවා," යනුවෙන් බොරිස් ජොන්සන් පැවසීය.

"බ්‍රිතාන්‍යය සෞඛ්‍ය සේවා, මෙම එන්නත නිපදවීම සඳහා මෙතරම් වෙහෙස මහන්සි වී වැඩ කළ විද්‍යාඥයින්ට, ස්වේච්ඡා සේවකයන්ට සහ අන් අය ආරක්ෂා කිරීම සඳහා නීති රීති අනුගමනය කළ සැමට," අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පුද කළේය.

ප්‍රධාන විපක්ෂය වන ලේබර් පක්ෂයේ ජොන් ඈෂ්වර්ත් කියා සිටියේ ජනතාව මෙම එන්නත ලබා ගැනීම දැකීම "අතිශයින්ම ප්‍රීතිමත්" බවය.

ෆයිසර්/බයෝ එන්ටෙක් එන්නත් මාත්‍රා 800,000 ක් පමණ ඉදිරි සති කිහිපය තුළදී ලබා දීමට එක්සත් රාජධානි රජය සැලසුම් කර ඇත. කෙසේනමුත් එන්නත ලබාගැනීම අනිවාර්ය නොවේ.

එන්නත් මාත්‍රා මිලියන 40 ක් සඳහා ඇණවුම් ලබා දී තිබෙන අතර, එක් පුද්ගලයෙකුට මාත්‍රා දෙකක් ලබා දිය යුතුය. එහෙයින් මෙම ප්‍රමාණය පුද්ගලයන් මිලියන විස්සකට ප්‍රමාණවත්ය.

Margaret Keenan, 90, is the first person in Britain to receive the Pfizer/BioNTech vaccine

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, පළමුවෙන් එන්නත ලබා ගත් මාග්‍රට් කීනන්ට රෝහල් කාර්යමණ්ඩලයේ ආචාරය

මෙම මාසය අවසන් වන විට තවත් මාත්‍රාවන් මිලියන හතරක් එක්සත් රාජධානියට ලැබිය යුතු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළද, ඒවායින් බොහොමයක් ලබන වසර වන තෙක් ලබා ගත නොහැකි වනු ඇතැයි පැවසේ.

පළමු කණ්ඩායමේ සෞඛ්‍ය සේවකයින්, සාත්තු සේවා කාර්ය මණ්ඩල සහ අවුරුදු 80 ට වැඩි පිරිසට එන්නත ලබා දීම සඳහා සති කීපයක් ගතවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව මැට් හැන්කොක් පැවසීය.

2021 ගිම්හානය දීප්තිමත් එකක් වනු ඇතැයි තමා විශ්වාස කරන බව පැවසූ සෞඛ්‍ය ලේකම්වරයා දැනටමත් කෝර්න්වෝල්හි නිවාඩුවක් වෙන්කරගෙන ඇති බව ද පැවසීය.

මේ තොරතුරුද කියවන්න: