ව්‍යවස්ථාව: විසිවෙනි සංශෝධනයට බෞද්ධ හිමිවරුන්ගේ සහ කතෝලික සභාවේ විරෝධය

- Author, රංග සිරිලාල්
- Role, BBC සිංහල, කොළඹ
කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබීමෙන් අනතුරුව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව යළිත් වරක් රට තුළ අවධානයට ලක්වෙමින් පවතී.
ඒ විශේෂයෙන්ම ආගමික නායකයන් ද ඒ පිළිබඳව අදහස් දැක්වීමත් සමගය.
මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ නායක හිමිවරුන් කියා සිටියේ, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ක්‍රියා මාර්ගයක් වන අතර, එය නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමක් හැටියට හඳුන්වන බවය.
එබැවින් ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරැකෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා කටයුතු කළ යුතු බව ද ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ භික්ෂූන් වහන්සේ සඳහන් කළේ අදාළ සංශෝධනය පිළිබඳ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව අදහස් දක්වමිනි.
"මේක කාගේ හරි පුද්ගලික උවමනාවක් මත කරන දෙයක් ලෙස තමයි ස්වාමීන් වහන්සේලා අදහස් දැක්වූයේ. පුද්ගල කේන්ද්‍රීයව තමයි මේක හදිසියේ ගේන්නේ කියලා. එහෙම නැත්නම් රටේ සාකච්ඡාව තිබුණේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න තමයි," ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ මහ ලේඛකාධිකාරී පුජ්‍ය අත්තංගනේ ශාසන රතන හිමි පැවසූහ.
"19 සංශෝධනයේ යම් අඩුපාඩුකම් තියෙනවා නම් ඒවා, සකස් කර ගෙන ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක් තිබිය දී, මේ වගේ දැඩි වසංගත තත්ත්වයක් රට පුරා ව්‍යාප්ත වෙලා යද්දි අපිට තියෙන්නේ මේ වගේ රටේ අනාගතය සම්බන්ධ ගැටලුවක එල්ලිලා කාලය කා දැමීම නෙමෙයි. මේ වසංගත තත්ත්වයෙන් රට මුදවාගෙන ඊට පස්සේ පුළුවන් සියලු පක්ෂ එකතු වෙලා මේ අලුත් ව්‍යවස්ථාව රටට හදන්න. මේක ඉතාම ඛේදනීය තත්ත්වයක් හැටියට තමයි අපි හඳුනාගෙන තියෙන්නේ. නීතියේ ආධිපත්‍ය බිඳ වැටීමක් හැටියට. මේකට පිළියම් සෙවීමක් හැටියට තමයි මේ ඒකාබද්ධ ප්‍රකාශය නිකුත් කරන්නේ."

මේ අතර කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත්කරමින්, 1978 ව්‍යවස්ථාව මගින් මූලික වශයෙන් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ කැබිනට් ප්‍රජාතන්ත්‍රවාදයක සිට විධායක ජනාධිපති ධුරයක් ලෙස වෙනස් කළ අතර එතැන් සිට විවිධ හේතු දක්වමින් 19 වැනි වතාවක් ව්‍යවස්ථාව සංශෝධන සිදු කර ඇත්තේ ආර්ථික වර්ධනය, ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව සහතික කිරීම සඳහාය යන්න කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි යයි සඳහන් කරයි.
"පෙනෙන විදිහට සලකා බලනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය වෙනත් කිසිදු තාර්කික පියවරක් ඉදිරියට ගෙන යන බවක් නොපෙනේ."
යෝජිත 20 වන සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර එය සමීපව විමසා බැලීම අත්‍යවශ්‍ය වන බව පවසන කතෝලික රදගුරු සම්මේලනය, ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම වේවා ජනතාවගේ ස්වෛරීභාවය සැමවිටම ආරක්ෂා කළ යුතු බව අවධාරණය කර තිබේ.
"සංවරණ - තුලන නොමැතිව පුද්ගලයෙකු තුළ බලය සංකේන්ද්‍රණය වීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයකට යහපත් නොවන බව අපි අවධාරණය කළ යුතුය," යනුවෙන් ද කතෝලික රදගුරු සම්මේලනය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
'වගන්ති 30ක් ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි'
මේ අතර "ප්‍රජාතන්ත්‍රවාදය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, මාධ්‍ය නිදහස සහ 20 වැනි සංශෝධනය" මැයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණ සාකච්ඡා සභාවකදී අදහස් දැක්වූ නීතිවේදිනී අර්මීසා ටීගල්, සංශෝධනයේ වගන්ති 30කට ආසන්න ප්‍රමාණයක් ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර යැයි සඳහන් කළාය.

ඡායාරූප මූලාශ්‍රය, Free Media Movement
"19 සංශෝධනයෙන් ජනාධිපතිවරයාට විරුද්ධව නඩු පැවරීමට හැකියාව ඇති කළා. ජනාධිපතිවරයා විසින් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කිරීමෙන් සන්ධ්‍යා එක්නැලිගොඩගේ මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමට හැකියාව ලැබී ඇත්තේ මේ හේතුවෙනි. 20 සංශෝධනය මඟින් මෙම වගන්තිය ඉවත් කිරීමට යෝජනා කර ඇති අතර එතකොට අපට හිතා ගන්නට පුළුවන් ජනාධිපතිගේ බලතල වැඩි වෙනවා. ක්‍රියාකාරකම් වැඩි වෙනවා නඩු පැවරිය නොහැකි විධියේ ආරක්ෂාවක් ලැබෙන කොට. අපේ අයිතිවාසිකම් උල්ලංඝණය වීම වැඩිවීමට තිබෙන ඉඩකඩත් වැඩි වෙනවා. එවිට පුරවැසියන්ට උසාවියකට යෑමට නොහැකිවීම ගැටළුවක් වෙනවා," යනුවෙන් ඇය සඳහන් කළාය.
හදිසි පනත් ඉදිරිපත් කිරීම සම්බන්ධ විධිවිධාන සංශෝධනය කිරීම මගින් ප්‍රජාතන්ත්‍රවාදය අභෝයෝගයට ලක්වන ආකාරය ද නීතිවේදිනී අර්මීසා ටීගල් එහිදී පෙන්වා දුන්නාය.
මේ අතර 20 වෙනි සංශෝධනය වෙනුවට සියලු ආගමික නායකයන්ගේ අවවාද, අනුශාසනා සහිතව නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කරන මෙන් ආචාර්ය විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර තිබුණි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් සම්බන්ධ සිය තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයාට හා ජනාධිපතිවරයාට භාර දුන් බවට වාර්තාවන අතර, එම තීන්දුවේ පිටපතක් බව පැවසෙන ලේඛනයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. ඒ පිළිබඳ බොහෝ ජනමාධ්‍ය ද වාර්තාකොට තිබුණි.
එම වාර්තාවන්ට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත්තේ ව්‍යවස්ථා හතරක් සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මතවීම මෙන්ම ජනමත විචාරණයක් තුළින් මහජන කැමැත්ත ලබාගැනීම ද අවශ්‍ය බවය. සංශෝධනයේ ඉතිරි කොටස පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පමණක් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කොට තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ප්‍රධාන වශයෙන් වගන්ති පනස් අටක් ඇති අතර ඒවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විවිධ විෂය කරුණු හා සම්බන්ධ වේ. මෙම වගන්තිවලට අදාළ කරුණු සහ ක්ෂේත්‍රයන් නම්:
- ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන්
- පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයාගේ වගකීම
- නඩු කටයුතු සදහා ජනාධිපතිවරයාගේ මුක්තිය
- ව්‍යවස්ථා සභාව
- අමාත්‍ය මණ්ඩලය
- රාජ්‍ය සේවා කොමිෂන් සභාව
- ජනාධිපතිවරයාගේ පත්වීම්
- පාර්ලිමේන්තු මහලේකම්
- පාර්ලිමේන්තුව විසුරුවා හැරීම
- පනත් කෙටුම්පත් ප්‍රකාශයට පත් කිරීම සහ සම්මත කිරීම
- ජනමත විචාරණයෙන් ජනතාවට බිල්පත් ඉදිරිපත් කිරීම
- පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට නුසුදුස්සකු වීම
- ජනාධිපති ධුරයට තේරී පත්වීමට නුසුදුස්සකු වීම
- මැතිවරණ කොමිෂන් සභාව සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්
- විනිශ්චයකාරවරුන් පත් කිරීම සහ වැඩබලන පත්වීම්
- අධිකරණ සේවා කොමිෂන් සභාව
- හදිසි පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය බලය ක්‍රියාත්මක කිරීම
- නීතිපති
- විගණකාධිපති
- විගණන සේවා කොමිෂන් සභාව
- මුදල් කොමිෂන් සභාව
- ජාතික පොලිස් කොමිසම
- පරිපාලන පාර්ලිමේන්තු කොමසාරිස්
- අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිසම
- ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව
- රාජ්‍ය නිලධාරියාගේ අර්ථ දැක්වීම
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, විජිත් කේ මලල්ගොඩ සහ ප්‍රියන්ත ජයවර්ධන යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ විනිසුරුවන් සිව් දෙනෙකු ජනමත විචාරණයක් අවශ්‍ය වන බවට හදුන්වා දී ඇති ප්‍රධාන වගන්ති නම්
*පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීම පිළිබඳව ජනාධිපතිවරයාට තිබූ මුක්තිය නැවත ලබාදීම
*මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින පරිදි නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා කොන්දේසි නිර්මාණය කිරීමට ජනාධිපතිවරයාට ඇති යුතුකම අවලංගු කිරීම.
*වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම
*මැතිවරණ කොමිෂන් සභාවේ නියමයන්ට අවනත වීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට ඇති ව්‍යවස්ථාමය යුතුකම ඉවත් කිරීම.
ප්‍රියන්ත ජයවර්ධන විනිසුරු වරයා ගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් එනම් තුනෙන් දෙකක බහුතරයකින් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම ප්‍රමාණවත් බවයි.
මේ අතර ද්විත්ව පුරවැසිභාවය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට නුසුදුසු බවට කරන ප්‍රකාශය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, "පක්ෂපාතීත්වයේ බෙදීම් " සහ "බැඳියාවන් පිළිබඳ ගැටුම්" පිළිබඳ තර්ක සලකා බැලීමට කැඳවනු නොලැබේ යැයි අනුමාන කර ඇත.
ආණ්ඩුවේ ප්‍රතිචාරය
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මාධ්‍ය හමුවේ පැවසුවේ 20 සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට අනුගතව, ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර ඇති පරිදි උචිත සංශෝධන කමිටු අදියරයේදී ඉදිරිපත් කිරීමේ හැකියාව රජයට තිබෙන බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය යෝජනා කර තිබෙන සංශෝධන 20 වන සංශෝධනයට ඇතුළත් කිරීමට පියවර ගත් පසු ඒ සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට නීත්‍යානුකූලව අවශ්‍ය නොවන බවය.
මේ සියලූ සංශෝධන අවසාන කෙටුම්පතට අන්තර්ගත කර තුන්වන වර කියවීමේදී තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීමෙන් පසු එය නීතිගත කිරීමට හැකිවෙන බව අධ්‍යාපන ඇමතිවරයා පවසයි.
20 වන සංශෝධනයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ජනාධිපතිවරයාට හා කථානායකවරයාට දැනට දන්වා තිබෙන බවත්, එය ප‍්‍රකාශයට පත් කරන්නේ පාර්ලිමේන්තුව ඊළඟට රැස්වන 20 වැනි අඟහරුවාදා දින බවත්, එදින කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මන්ත‍්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බවත් අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.
කියවන්න:









