පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාරවේල රුපියල් 3000 ක් නොවටිනා බව මන්ත්‍රීවරු පවසති

Sri Lanka Parliament

ඡායාරූප මූලාශ්‍රය, Sri Lanka Parliament

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආහාර පාන සඳහා වන පිරිවැය තක්සේරු කිරීම සඳහා විගණනයක් ආරම්භ කළ බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ එක් ආහාර වේලක් සඳහා රුපියල් 3,000 කට වඩා වැය වන බව පවසමින් අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුවක් අතරතුර පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු කළ ප්‍රකාශය ගැන මහජන අප්‍රසාදය මතුවී ඇති බව පවසමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක්ව විරෝධය පෑමත් සමඟම කතානායක වරයා මෙම විගණනය කිරීමට උපදෙස් දුන් බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශක ශාන් විජේසිංහ පවසීය.

එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වියදම රුපියල් 296 ක් පමණ වන අතර එය වාර්තා වී තිබූ පරිදි රුපියල් 3000ක් නොවන බවත් නුදුරු අනාගතයේ දී පාර්ලිමේන්තුවේදී ආහාර සඳහා වන වියදම් පිළිබඳ සවිස්තරාත්මකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සිකුරාදා පාර්ලිමේන්තුවට පැවසීය.

පාර්ලිමේන්තුවේ සමස්ත ආහාර පිරිවැය ගණනය කිරීමෙන් අනතුරුව එය 225 න් බෙදීමෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වැරදි ප්‍රකාශයක් සිදුකර ඇති බව කථානායක වැඩිදුරටත් පැවසීය.

කථානායක වරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ආහාර වේලක් සඳහා රුපියල් 3000 ක මුදලක් වැය වන බව පාර්ලිමේන්තු නිලධාරියෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් සිකුරාදා පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.

මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබේ විරෝධතාවක් අතර තුර

ඡායාරූප මූලාශ්‍රය, Sri lanka parliament

ඡායාරූප ශීර්ෂ වැකිය, මන්ත්‍රීවරුන් පිරිසක් සභා ගැබේ විරෝධතාවක් අතර තුර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා එක් ආහාර වේලක් රුපියල් 3,000 කට වඩා වැය වන බව පවසමින් අලුතින් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සඳහා වූ වැඩමුළුව අතරතුර පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු කළ ප්‍රකාශය මහජන අප්‍රසාදය ද ලක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත කියා සිටියේ තම ආහාරය නිවසින් ගෙන ආ බවයි. "නමුත් බොහෝ මන්ත්‍රීවරුන් තම නිවෙස්වලින් බොහෝ ඈතින් ජීවත් වන බැවින් එය සියලුම දෙනාට කළ නොහැකිය."

පාර්ලිමේන්තුවේ දී ලබා දෙන ආහාර වේලකට රුපියල් 3000 ක් වැය විය නොහැකි අතර එය රුපියල් 950ක් වත් විය නොහැකි බව ඔහු පැවසීය.

සංඛ්‍යාලේඛන නිවැරදි නම්, ආහාර මිල දී ගන්නා අය නීති විරෝධී ලාභ උපයනු ඇතැයි ඔහු පැවසීය. මාධ්‍යවේදීන් පවා ආහාර ලබා ගන්නේ රුපියල් 150 කට බව ඔහු පැවසීය.

පාර්ලිමේන්තු ප්‍රකාශක ශාන් විජේසිංහ පැවසුවේ සමහර මන්ත්‍රීවරු මෙන්ම සමහර සේවකයන්ද පාර්ලිමේන්තු භොජනාගාරයෙන් කෑම අනුභව නොකරන බවත් සමහර සේවකයන් තම නිවසින් ආහාර රැගෙන එන බවත්ය.

සාමාන්‍ය දිනකට පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා සිටින පොලිස් නිලධාරීන් හා අනෙකුත් කාර්යමණ්ඩලය ඇතුළුව 1200 ක පමණ පිරිසක් සේවය කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියේය.

ආරක්ෂක හේතූන් මත කිසිවෙකුට ආහාර හෝ ජලයවත් පිටතින් ගෙන ඒමට නොදෙන හෙයින් පාර්ලිමේන්තු සේවකයන්ට හා මන්ත්‍රීවරුන්ට භෝජනාගාරය මගින් පහසු මිලකට ආහාර සපයන බවත් සේවකයන්ගෙන් අනිවාර්යයෙන් නාමික අයකිරීමක් මාසිකව වැටුපෙන් කපාගන්නා බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තු සේවකයකු බීබීසී සිංහල සේවයට පැවසුවේ සමහර සේවකයන් පාර්ලිමේන්තු භොජනාගාරයෙන් ආහාර නොගන්නා බවයි. ඔවුන් රැගෙන එන සියලුම ආහාර පාන පාර්ලිමේන්තු පිවිසුමේ තබා එන බව ද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවසුවේ පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාරයේ ගුණාත්මකභාවය ඉතා දුර්වල බවත් තරු හෝටලයක ආහාර වේල සමඟ ඒවා සංසන්දනය කල නොහැකි බැවින් ඒවා රුපියල් 3000 ක් විය නොහැකි බවයි.

ඔහු පැවසුවේ වියදම ගණනය කළ නිලධාරියා පාර්ලිමේන්තුවේ සේවකයින් 2,000 ආහාර සඳහා යන වියදම 225 න් බෙදීමෙන් මෙම අගයට පැමිණීමට හැකියාවක් ඇති බවය. එය මන්ත්‍රීවරුන්ට කරන බරපතල අසාධාරණයක් බව එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයාගේ මතය විය.

ආහාර වේලෙහි වියදම රුපියල් 200 ක් හෝ 300 ක් පමණ විය යුතු බව ඔහු පැවසීය. පාර්ලිමේන්තුව කිසි විටෙකත් අතුරුපස සඳහා සෘතුමය පළතුරු ලබා නොදෙන නමුත් අන්නාසි, පැපොල් හා කෙසෙල් සෑම දිනකම ලබා දෙන බව ඔහු පැවසීය.

කථානායක වරයා පැවසුවේ මන්තිවරුන්ගේ නිගමනය නිවැරදි බවත් එක් මන්ත්‍රීවරයකුගේ ආහාර වේලක් සඳහා වියදම රුපියල් 296 ක් බවත් ඔහු පැවසීය. පාර්ලිමේන්තුවේ සමස්ත ආහාර පිරිවැය 225 න් බෙදීමෙන් නිලධාරියා විසින් පිරිවැය වැරදි ලෙස ගණනය කර ඇති බව කථානායකවරයා පැවසීය. සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පුරුද්දක් ලෙස කිසි විටෙකත් පාර්ලිමේන්තුවෙන් ආහාර නොගන්නා බවත් ඔහු පැවසීය.

පාර්ලිමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ මන්ත්‍රීවරයෙකුගෙන් ආහාර වේලක් සඳහා රුපියල් 200කුත් කාර්යමණ්ඩල සාමාජිකයෙකුගෙන් මසකට රුපියල් 300කුත් කපා ගන්නා බවයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භෝජනාගාර 12ක් ඇත. ඒවා අතර අනන්‍ය වූ අවන්හල් පහක් සහ ප්‍රභූ කෑම කාමර ද ඇතුළත්වය.

ආහාර හා පාන සඳහා පාර්ලිමේන්තුව වාර්ෂිකව රුපියල් මිලියන 120 ක් වැය වන බව පාර්ලිමේන්තු මූල්‍ය නිලධාරීන් 2019 වසරේදී ගණන් බලා තිබේ. මෙයට අමතරව රුපියල් මිලියන 80 ක් විදුලිය සඳහා වැය වන අතර විදුලිබල පරිභෝජනයෙන් වැඩි ප්‍රමාණයක් එහි වායු සමීකරණ පද්ධතිය සඳහා වැය වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

රුපියල් මිලියන 14.5 ක් දුරකථන පහසුකම් සඳහා ද වසරකට පානීය ජලය සඳහා රුපියල් මිලියන 9 ක් ද වැයවන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ දත්ව පෙන්නුම් කරන බව වාර්තා වේ.

කියවන්න: