ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගැටුම්: රුපියල් 325,000 ක දේපලවලට හානි කිරීම සහ ගැටුම් පිළිබඳව මන්ත්‍රීවරු 59 කට චෝදනා

HARSHA DE SILVA/TWITTER

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/HARSHA DE SILVA

පසුගිය වසරේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල "ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයට කළු පැල්ලමක් ඇති කරමින්" ඇතිවූ ගැටුම්කාරී තත්වයට සම්බන්ධ මන්ත්‍රීවරු 59 ක් පිළිබඳව ක්‍රියාමාර්ග ගත යුතු බව, ඒ සඳහා පත්කළ විමර්ශන කමිටුව කතානායකවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන්වේ.

වාර්තාවේ පිටපතක් බීබීසී සිංහල සේවයට දැකගැනීමට ලැබිණ.

විමර්ශන කමිටුව පසුගිය අඟහරුවාදා (22) කතානායක කරු ජයසූරිය වෙත ලබාදුන් එම වාර්තාව, ඉදිරි කටයුතු සඳහා එය නීතිපතිවරයාට යොමුකිරිමට නියමිතව තිබුණි.

නොවැම්බර් මස 14, 15 සහ 16 දිනවල පාර්ලිමේන්තුවේ සිදුවූ ගැටුම්කාරී තත්වය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කතානායක කරු ජයසුරිය විසින් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කරන ලදි.

කමිටුවේ සාමාජිකයන් ලෙස පත්කළේ කවුරුන්ද?

  • එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර
  • එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චමල් රාජපක්ෂ
  • එක්සත් ජනතා නිදහස් සන්ධානයේ චන්ද්‍රසිරි ගජධීර
  • ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක
  • දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා

කෙසේ නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන චමල් රාජපක්ෂ හා චන්ද්‍රසිරි ගජධීර යන මන්ත්‍රීවරුන් එම කමිටුවේ කටයුතුවලට සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කර තිබුණි.

මේ ගැනත් කියවන්න:

TWITTER/HARSHA DE SILVA

ඡායාරූප මූලාශ්‍රය, TWITTER/HARSHA DE SILVA

අදාළ දින 3 තුළ සිදු වූ සිදුවීම් පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඇති කැමරා වලින් සහ සිදුවීම් වීඩියෝ ගතකළ විද්‍යුත් මාධ්‍යවලින් ලබාගත් සංස්කරණය නොකළ දර්ශන නරඹා මෙම කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පාර්ලිමේන්තු (බලතල හා වරප්‍රසාද) පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර ඇති බවට වාර්තාවෙන් චෝදනා කර තිබේ.

Skip Facebook post

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post

වාර්තාවෙන් චෝදනා ලත් මන්ත්‍රීවරු කව්ද?

  • එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 54 කගේ,
  • එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 4 දෙනෙකුගේ සහ
  • ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගේ නම් එම වාර්තාවේ සඳහන් වේ.

මෙම මන්ත්‍රීවරුන් 59 දෙනා අතරින් විවිධ චෝදනා යටතේ මෙම වාර්තාවේ වැඩිම වාරයක් නම සඳහන් වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ගේය.

චෝදනා 12 කට ඔහුගේ නම සඳහන් වී ඇති අතර ඉන් අනතුරුව වැඩිම චෝදනා එල්ල වී තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පද්ම උදයශාන්ත යන මන්ත්‍රීවරුන් දෙදෙනාටය.

FACEBOOK.COM/UNPOFFICIALPAGE

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK.COM/UNPOFFICIALPAGE

කතානායකවරයා පත්කළ කමිටුවේ නිරීක්ෂණ අනුව, පාර්ලිමේන්තුවේ නොවැම්බර් මස 14, 15 සහ 16 යන දිනවල සිදු වූ කලහකාරී සිදුවීම් සහ ඊට වගකිව යුත්තන් ලෙස කමිටුව හඳුනාගෙන ඇති බවට වාර්තාවන මන්ත්‍රීවරුන් මෙසේය;

නොවැම්බර් 15

  • කතානායකවරයාගේ මයික්‍රෆෝනය කඩා දැමීම - පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම සහ ආනන්ද අලුත්ගමගේ
  • කතානායකවරයාට ජලය ගැසීම, කුණු බාල්දියකින් දමා ගැසීම, පොතකින් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ
  • කතානායකවරයාට වතුර බෝතලයකින් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ
  • කතානායකවරයාගේ අසුනට ජලය වත්කිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර
  • පිහියක් වැනි යමක් අත දැරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම සහ රන්ජන් රාමනායක

නොවැම්බර් 16

  • කතානායකවරයාගේ පුටුවේ අසුන්ගැනීම - පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු
  • කතානායකවරයාගේ මේසය මත තිබු මයික්‍රෆෝනයකට හානි කිරීම, පුටුවක් පොලිස් නිලධාරීන් දෙසට විසිකිරීම, පොත් විසිකිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු
  • පොලිස් නිලධාරීන්ට පහරදීම, ඔවුන්ට යම් දියරයක් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර
  • පොලිස් නිලධාරීන් තල්ලුකර රාජකාරියට බාධා කිරීම, පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම - පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න
  • සෙංකෝලය තබන මේසය පෙරළා දැමීම - පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සහ රන්ජිත් සොයිසා
  • තමන්ගේ සපත්තුවෙන් යමක් ගෙන වතුර කෝප්පයක් සමග මිශ්‍ර කිරීම, ගාමිණී ජයවික්‍රම පෙරේරා හා විජිත හේරත් යන මන්ත්‍රීවරුන් දෙසට දියරයක් දමා ගැසීම - පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදයශාන්ත

මෙම දින තුන තුළදී සිදු වූ දේපළ හානිය, බදු නොමැතිව රුපියල් 325,000ක් ලෙස තක්සේරු දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇති බව ද අදාළ කමිටුව කතානායකවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වේ.

චර්යා ධර්ම සංග්‍රහය

SL PARLIAMENT

ඡායාරූප මූලාශ්‍රය, SL PARLIAMENT

කතානායකවරයා පත් කළ කමිටුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් වන 'චර්යා ධර්ම සංග්‍රහයේ' 32 වන වගන්තිය තම වාර්තාවේ උපුටා දක්වයි. ඒ අනුව;

"සෑම මන්ත්‍රීවරයෙකුම සිය සාමාජික මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද මහජනතාව ද සම්බන්ධයෙන් ගෞරවාන්විතව, ආචාරශීලීව සහ පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි නොවන ආකාරයෙන් කටයුතු කළ යුතුය," යනුවෙන් එහි සඳහන්වේ.

මීට අමතරව, චර්යා ධර්ම සංග්‍රහය පිළිපැදීම පිළිබඳව, 'පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහය' එහි IX වන කොටසින් පැහැදිලි කරයි.

SL_Parliament

ඡායාරූප මූලාශ්‍රය, SL_Parliament

පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද

පාර්ලිමේන්තුවේ සභාගැබ තුළ සිදුවන සිදුවීම් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත මගින් ආවරණය වී තිබෙන බවට පළ කරන මතය අදාළ කමිටුව මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාර්ලිමේන්තු පනතේ හරය වන්නේ පාර්ලිමේන්තුවේ භාෂණය, විවාද කිරීමේ කටයුතු සිදුකිරීමේ නිදහස මිස, වෙනත් කටයුත්තක් නොවන බව කමිටුවේ මතය බව ද වාර්තාවේ සඳහන්ය.

ඒ පිළිබඳ පසුගිය නොවැම්බර් 16 වෙනි දින ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, "පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් අපරාධ ක්‍රියා වලට මුක්තියක් ලබා දෙන්නේ නැත," යනුවෙන් පවසා තිබුණි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

ලෝකයේම අවධානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට යොමුව තිබු අවස්ථාවක සිදුවූ මෙවැනි හැසිරීම් කිසි ලෙසකින් නොසලකා හැරීම සිදුවිය නොවිය යුතු බවත් මෙවැනි තත්වයක් යළි ඇතිනොවීමට අවශ්‍ය සියළු පියවර ගැනීම නොපැකිළිව සිදුවිය යුතු බවත් කමිටුව දැඩි ලෙස අවධාරණය කළ බව කමිටුව නියෝජනය කළ මන්ත්‍රීවරයෙක් බීබීසි සිංහල සේවයට කියා සිටියේය.

පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතේ ඇති වැරදි සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඬුවම් පැමිණ විය හැකි බැවින් මෙම මන්ත්‍රීවරුන්ට නිසි ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය බව අදාළ කමිටුවේ මතය වී තිබේ.

මෙම සිදුවීම් සිදුවූ අවස්ථාවේ පොලීසියට ලැබුණු පැමිණිලි අනුව පොලිස් අපරාධ විමර්ශන කොට්ටාශය ද මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වමින් සිටී.

එම පරීක්ෂණය ද ඉක්මනින් අවසන් කර, වරදකරුවන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙස කම්ටුව කතානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

කතානායක කරු ජයසූරිය අදාළ වාර්තාව අධ්‍යයනය කොට ඒ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත්කරනු ඇති බව බීබීසී සිංහල සේවයට අනාවරණය වේ.