ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ 'අර්බුදය': විමලතිස්ස හිමියන් සොයා පොලිසිය නිවසක් වටලයි

අපේ ජන බල පක්ෂයේ මැතිවරණ රැස්වීමක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Ape Jana Bala Pakshaya

අගෝස්තු 05 වෙනි දින පැවැත්වුණු මහ මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සියලු දෙනා ලබන 20 වෙනි දින පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දීමට නියමිත නමුත්, ඇතැම් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ නම් තවමත් ප්‍රකාශයට පත් වී නැත.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් විසිනව දෙනකු නම්කළ යුතුව ඇති නමුත් තවමත් සිය මන්ත්‍රීවරුන් නම්කරනු ලැබ තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අහිල ඉලංගෙයි තමිල් අරසු පක්ෂය පමණයි.

විශේෂයෙන්ම අපේ ජන බල පක්ෂයට හිමි වූ අසුන පිළිබඳව අර්බුදයක් නිර්මාණය වී තිබෙන බව මාධ්‍ය වාර්තා කරයි.

බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් සහ හිටපු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මැතිවරණයට තරඟ කළේ එම පක්ෂයෙනි.

නම් දෙකක්

ඥාණසාර හිමියන් ඇතුළත් අපේක්ෂක ලැයිස්තුව දෝෂ සහිත යයි පවසමින් මැතිවරණ නිලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුන නමුත් පක්ෂයට ලැබුන සමස්ත ඡන්ද ප්‍රමාණය සලකා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමිවිය.

මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ අපේ ජන බල පක්ෂයේ ලේකම් වේදිනිගම විමලතිස්ස හිමියන් තමාගේම නම ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවිය සඳහා යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් යැවූ දා පටන් උන්වහන්සේ අස්ථානගතව ඇති බවය.

මේ අතර ලේකම් හිමියන් වෙත ලිපියක් යොමු කරන ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, අපේ ජනබල පක්ෂය විසින් වේදිනිගම විමලතිස්ස හිමියන් ලේකම් පදවියෙන් ඉවත්කරනු ලැබ වෙනත් තැනැත්තකු මන්ත්‍රී පදවියට නම්කර ඇති බව දැනුම් දී ඇති හෙයින් එම නීතිමය ගැටළු නිරාකරණය කරගන්නා තෙක් පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ගැසට් නොකරන බව සඳහන් කර තිබුණි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ගේ නිවේදනය
ඡායාරූප ශීර්ෂ වැකිය, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය නිකුත් කළ nනිවේදනය

විමලතිස්ස හිමියන් මන්ත්‍රී ධුරය සඳහා තමන්ගේ නම ඉදිරිපත් කර තිබියදී එහිමියන් මහ ලේකම් ධුරයෙන් ඉවත්කර මන්ත්‍රී ධුරය සඳහා පක්ෂයේ නායක/ සභාපති සමන් පෙරේරා නම් කළ බව පවසමින් තවත් ලිපියක් ලැබී තිබෙන බව මැතිවරණ කොමිසම යොමු කළ ලිපියේ දැක්වේ.

අපේ ජන බල පක්ෂයේ ලේකම් හිමියන්ගේ ජීවිතයට තර්ජනයක් ඇතැයි 119 දුරකථනයට පණිවුඩයක් ලැබීමෙන් පසු විමර්ශනයක් සඳහා පොලිස් කණ්ඩායමක් මාවනැල්ල ප්‍රදේශයේ නිවසකට ගොස් පරීක්ෂා කළ නමුත් ඒ හිමියන් එම ස්ථානයේ නොසිටි බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න බීබීසී සිංහල සේවය කළ විමසීමකදී පැවසීය.

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී පදවි එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය, ජාතික ජනබලවේගය සහ අපේ ජන බල පක්ෂය විසින් නම් කරනු ලැබිය යුතු නමුත් එම කාරණය සම්බන්ධයෙන් එකී පක්ෂ අභ්‍යන්තරයේ තවමත් පූර්ණ එකඟතාවක් ඇතිවී නොමැති හෙයින් එය ප්‍රමාද වෙමින් පවතී.

මේ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත්කරනු ලැබ තිබිණ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 17 දෙනා හැරුණු විට, තවරාසා කලෙයි අරසන් සහ සෙල්වරාසා ගජේන්තිරන් ජාතික ලැයිස්තුවට පත්කර තිබෙන අනෙක් මන්ත්‍රීවරුන් දෙදෙනාය.

කියවන්න: