2020 ශ්‍රී ලංකා මහ මැතිවරණය: නව කැබිනට් මණ්ඩලයේ සංයුතිය

අන්තර්වාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය

ඡායාරූප මූලාශ්‍රය, PMD

ඡායාරූප ශීර්ෂ වැකිය, අන්තර්වාර ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත විය (සංරක්ෂිත ඡායාරූපයකි)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තම නව කැබිනට් මණ්ඩලයේ සංයුතිය අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කිරීම යම් තාක් දුරකට ක්‍රමවත්ව සිය පාලනය ගෙනයාමට සූදානම් යයි ඉඟිකිරීමක් බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

සිය 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියට ගෙනයෑම සඳහා 28 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් සහ 40 දෙනෙකුගෙන් යුත් රාජ්‍ය අමාතවරුන් පිරිසකුත් පත්කිරීමට යෝජිත බව ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ දැක්වේ.

නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් එම ගැසට් නිවේදනයේ කිසිවක් සඳහන් නොවේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දරන අමාත්‍යාංශ ද කැබිනට් අමාත්‍ය පදවි 28 ට ඇතුළත් වන බවය.

නව කැබිනට් මණ්ඩලය බදාදා (අගෝස්තු 12) මහනුවර ශ්‍රී දළදා මාලිගය අබියස දී දිවුරුම් දීමට නියමිතයි.

EPA

ඡායාරූප මූලාශ්‍රය, EPA

ග්‍රාමීය ජන ජීවිතය හා කෘෂි ආර්ථිකය සවිබල ගැන්වීම සහ සමස්ථ සමාජ හා ආර්ථික සංවර්ධනයට දායක වීමට අමාත්‍යාංශ ලේකම් වරුන්ට බලය ලබාදෙන බවත් ගැසට් නිවේදනයේ දැක්වේ.

'ගුණාත්මක සේවාවක් ඉටුකිරීම'

නව කැබිනට් මණ්ඩලයේ සංයුතිය පිළිබඳව බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අංශයේ කථිකාචාර්ය මැණික් වක්කුඹුර කියා සිටියේ, විෂය ක්ෂේත්‍රය ප්‍රකාශ කිරීමේදී එහි ප්‍රමාණාත්මක වටිනාකම මෙන්ම එමගින් ගුණාත්මක සේවාවක් ඉටු කිරීමේ හැකියාවත් ඉතාමත් වැදගත් වන බවය.

දේශීය වශයෙන් තම විෂය පථය ක්‍රියාත්මක වීමෙන් ජනතා අභිවෘධිය උදෙසා කටයුතු කිරීම මෙන්ම ජාත්‍යන්තර සබඳතා මූලාශ්‍රයක් ලෙස දේශීය අමාත්‍යාංශ ක්‍රියාත්මක වීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ක්‍රියාකාරිත්වය පමණක් නොව අනෙකුත් අමාත්‍යාංශයන් හි, එනම්, ආයොජන ප්‍රවර්ධන, වෙළෙඳ, සංචාරක, කාන්තා, කම්කරු, සෞඛ්‍ය, ක්‍රීඩා සහ වෙනත් අමාත්‍යාංශයන්ට "රටේ දැක්ම" ජාත්‍යන්තරයට ගෙන යා හැකි අයුරින් සකස් විය යුතු බවත් කථිකාචාර්යවරිය සඳහන් කළාය.

මෙහිදී එම අමාත්‍යාංශයේ නායකත්වයේ හැකියාව, ප්‍රතිපත්ති ගරුක බව, මානව සම්පත් කළමනාකාරණ හැකියාව, කාර්යක්‍ෂමතාවය, ප්‍රතිපත්තිවල ස්ථාවරත්වය වැනි කරුනු ඉතාමත් වැදගත් වන බවත් කථිකාචාර්ය මැණික් වක්කුඹුර පෙන්වා දුන්නාය.

ආරක්ෂක අමාත්‍ය පදවිය

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වීමෙන් පසුව පිහිටවන ලද පළමුවන කැබිනට් මණ්ඩලයට ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකළ නමුත් පළමු වරට ආරක්ෂක අමාත්‍යංශයක් නම්කිරීම තුළින් ඒ සඳහා අමාත්‍යවරයෙකු පත්කිරීමට ඉඩ ඇති බවට ඉඟි කොට තිබේ.

නැවතත් පොලිසිය ආරක්‍ෂක අමාත්‍යංශය යටතට පත්කොට ඇති අතර අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කලමනාකරණ නමින් රාජ්‍ය අමාත්‍යංශයක් පිහිටුවා තිබේ.

මුදල් අමාත්‍යාංශය නැවතත් අගමැති මහින්ද රාජපක්ෂ යටතට නැවතත් පත්කිරීමට නියමිත අතර මුදල් අමාත්‍යංශය යටතේ රාජ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු පත්කෙරෙනු ඇත.

Getty Images

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පත් කළ මන්ත්‍රී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිතවතෙකු වන ජනාධිපති නීතීඥ අලි සබ්‍රි අධිකරණ අමාත්‍ය පදවියට පත්කිරීමට ඉඩ ඇතැයි මාධ්‍ය වාර්තාවල දැක්වෙන අතර, ඒ පිළිබඳව මුලින්ම අනාවැකිය පළ කලේ ජනාධිපතිවරයා ගේ සමීපතමයකු වන ව්‍යාපාරික දිලිත් ජයවීර තම මුහුණුපොතේ සටහනක් තබමිනි.

දිලිත් ජයවීර පවසන්නේ අලි සබ්‍රි "ජාතිකවාදය පිළිගන්නා අතරම, මුස්ලිම් ජනතාවත් ජාතිකවාදී ව්‍යාපාරයට ගෙන ඒමට අනාගතයේ නායකත්වය දරාවි. inclusive nationalism මතවාදයත් එක්ක ඔහු අධිකරණ ඇමති ධූරය ලබා ගත්තොත් මේ රටට යහපතක් සිදු වේවි," යනුවෙනි.

අලි සබ්රි

ඡායාරූප මූලාශ්‍රය, Ali Sabri/ Facebook

කෙසේ වුවත් ඔහු අධිකරණ අමාත්‍ය පදවියට පත්කිරීම පිළිබඳව ඇතැම් පිරිසක් විරෝධය පළකරමින් සිටිති.

මහාචාර්ය ජී එල් පීරිස් අධ්‍යාපන අමාත්‍ය පදවියට පත්කිරීමට ඉඩ තිබෙන බවට දේශපාලන විචාරකයන් ප්‍රකාශකරන අතර එම අමාත්‍යංශයට රාජ්‍ය අමාත්‍යවරුන් සිව් දෙනෙකු පත් කිරීමට නියමිතයි. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා ලෙස කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමත් දහම් පාසැල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල සඳහා වෙනම රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීම විශේෂත්වයකි.

සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ රාජ්‍ය අමාත්‍යංශ දෙකක් පිහිටුවීමට නියමිතය.

අමාත්‍යාංශ වෙන් කෙරෙන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, ජනාධිපති කාර්යාලය

අමාත්‍යාංශ වෙන් කෙරෙන ආකාරය

ඡායාරූප මූලාශ්‍රය, ජනාධිපති කාර්යාලය

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ද අමාත්‍ය පදවියක් හිමිවනු ඇතැයි විශ්වාස කෙරෙන නමුත් තමන්ට අමාත්‍ය පදවියක් ලබා දීමට පෙර 2018 දී සිය පියාට උපකාර කළ පුද්ගලයින්ට අමාත්‍යාංශ ලබාදිය යුතුයැයි ඔහු මාධ්‍ය හමුවේ පැවසීය.

මිනීමැරුම් චෝදනා යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ මරණ දඬුවමට ලක්ව එයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති ප්‍රේමලාල් ජයසේකරට ද අමාත්‍ය පදවි හිමිවනු ඇතැයි විශ්වාස කෙරේ.

සිය පියාගේ අභාවයෙන් පසුව ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් ගේ පුත් ජීවන් තොණ්ඩමන් ට ද ඇමති ධුරයක් හිමිවනු ඇතැයි අපේක්ෂිතය.