ජාතික ජන බලවේගය ජනාධිපති අපේක්ෂකත්වයට නම් කළේ වැරදි පුද්ගලයෙක් ද?

ජාතික ජන බලවේගය

ඡායාරූප මූලාශ්‍රය, NPP/Facebook

වසර 20කට පසු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අපේක්ෂකයෙකු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටී. ඒ, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායකය.

පසුගිය වසර 20ක ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරණ ඉතිහාසය:

  • 1999 - නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළේය.
  • 2005 - ජනතා විමුක්ති පෙරමුණ මහින්ද රාජපක්ෂට සහය දැක්වීය.
  • 2010 - ජෙනරල් සරත් ෆොන්සේකාට සහය දැක්වීය.
  • 2015 - කිසිවෙකුට සහය නොදැක්වූ අතර ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළේය.
  • 2020 - ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව සිටී.

කෙසේ වෙතත්, මෙවර අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණයට තරග කරනුයේ ජනතා විමුක්ති පෙරමුණ යටතේ නොවේ.

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගය සමග එක්ව සිටින පාර්ශව සමග ඇති කර ගන්නා පෙරමුණක් යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවය.

ජාතික ජන බලවේගය නිර්මාණය වී ඇත්තේ, කණ්ඩායම් 28ක එකතුවකිනි.

තෝරා ගත්තේ සුදුසු අපේක්ෂකයා නොවේ ද?

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක තෝරා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ වී තිබිණි.

ඇතැමෙකු පවසා තිබුණේ, "ගොඩ නැගෙන්න තිබුණු ලක්ෂ 25 ක විතර මහා ජන එකමුතුවක් එක සැණෙන් පුරුදු ලක්ෂ 5 ට ම නැවත කඩං වැටුණු," බවය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි ෆේස්බුක්හි පළ කර තිබූ අදහසකින් කියවුණේ, අනුර කුමාර දිසානායක විවේචනය කරන්නන් විකල්පයක් යෝජනා නොකරන බවය.

Skip Facebook post, 1

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 1

Skip Facebook post, 2

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 2

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සුමිත් චාමින්ද ෆේස්බුක් ඔස්සේ පළ කර තිබුණේ, "ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය අද ගත්තේ ඉතා ම වැරදි තීරණයක්," යනුවෙනි.

Skip Facebook post, 3

මෙහි අන්තර්ගතය නැත

වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.

End of Facebook post, 3

ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක නම් කිරීම වැරදි තීරණයක් ද? ඔහු තෝරා ගනු ලැබුවේ කුමන පදනමක් මත ද? යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය ජාතික ජන බලවේගයට සහය දක්වන ප්‍රමුඛ පෙළේ විද්වතුන් දෙදෙනෙකුගේ අදහස් විමසීය.

ආචාර්ය හරිනි අමරසූරියගේ අදහස:

ආචාර්ය හරිනි අමරසූරිය

ඡායාරූප මූලාශ්‍රය, NPP/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තිරසර සංවර්ධනය පිළිබඳ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය ද ජාතික ජන බලවේගයට සහය පළ කරන විද්වත් මණ්ඩලයට අයත් වේ.

ඇය බීබීසී සිංහල සේවයට පැවසුවේ, "පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා විකල්පයක් සෙවීමට සිදුවූ," බවය.

"මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය සහ සාධාරණත්වය කියන දේවල් ප්‍රධාන පක්ෂ දෙකෙන් අපේක්ෂා කරන්න බැහැ. අපි අපේක්ෂා කළා 2015දී ඒ වෙනස සිදු වෙයි කියලා. ඒත් ඒක වුණේ නැහැ. ඒ නිසා අපි තීරණය කළා ඒ දේවල් ආරක්ෂා කරන්න පුළුවන් විකල්පයකට සහය දෙන්න."

ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළේ, ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂකයා සම්බන්ධයෙන් තමන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බවය.

"ජනාධිපති ධූරය දේශපාලන අත්දැකීම් නැති කෙනෙකුට කරන්න බැහැ. ඒකට දේශපාලන අත්දැකීම් තියෙන කෙනෙක් අවශ්‍යයි. හිටපු ගමන් මතු වෙන තාරකා හරියන්නේ නෑ. ඒ නිසා මේ බලවේගය සමග එක් වෙලා ඉන්න කණ්ඩායම් 28 ම සාකච්ඡා කරලා හැමෝගෙ ම කැමැත්ත මතයි අනුර කුමාර දිසානායක නම් කළේ. අනුර කුමාර දිසානායක නම් කිරීම සුදුසු නැහැ කියල සමාජ මාධ්‍යවල පළවෙන අදහස් මම පිළිගන්නේ නැහැ."

මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ අදහස:

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

ඡායාරූප මූලාශ්‍රය, NPP/Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, මහාචාර්ය ලියනගේ අමරකීර්ති

"අපි ජාතික ජන බලවේගය ගොඩනැගුවේ අවුරුදු කීපයකට පෙර ඉඳන්. නිදහසෙන් පස්සේ රට පාලනය කරපු කණ්ඩායම් රට පාලනය කරපු ආකාරය වෙනස් කළ යුතුයි කියන මතයේ ඉඳන් තමයි අපි මේ බලවේගය ගොඩ නැගුවේ," පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති බීබීසී සිංහල සේවයට පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, ජනතා විමුක්ති පෙරමුණේ සංවිධාන ශක්තිය භාවිත කරමින් යම් වෙනසක් සිදු කිරීම සඳහා අනුර කුමාර දිසානායක අපේක්ෂකත්වයට නම් කළ බවය.

"දැන් තියෙන ජනතා විමුක්ති පෙරමුණ 88/89 කාලේ තිබුණ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි. 1994 ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණීමෙන් පසු ඔවුන් හොඳ අතට වෙනස් වුණා. ඒ වගේ ම ජනතා විමුක්ති පෙරමුණ තමයි බිම් මට්ටමේ හොඳ ම සංවිධාන ශක්තියක් හිමි පක්ෂය. ඒ නිසා මම හිතනවා ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක ඉදිරිපත් කිරීම සුදුසුයි කියලා. සර්ව සම්පූර්ණ අපේක්ෂකයෝ ලෝකේ කොහේවත් නෑ. අපි තෝර ගන්න ඕන වඩාත් හොඳ පුද්ගලයායි."

ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද පදනම

2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණට හිමි වූයේ, 4.87%ක ඡන්ද ප්‍රතිශතයකි.

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ප්‍රතිශතය 5.75%ක් විය.

කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට සහය දුන් කලාකරුවන් සහ විද්වතුන් රැසක් මෙවර ජාතික ජන බලවේගය සමග එක්ව සිටිනු ඉරිදා (අගෝස්තු 18) පැවති රැලියේදී දක්නට ලැබිණි.

තවදුරටත් කියවන්න.