'ජාතික ජන බලවේගයේ ' ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකගෙන් ප්‍රතිඥාවක්

ජනතා විමුක්ති පෙරමුණ සහ ඊට සහයෝගය දෙන සිවිල් සංවිධාන එකතුවෙන් සැදුම් ලත් 'ජාතික ජන බලවේගයේ' ජනාධිපති ධූර අපේක්ෂකයා වශයෙන් අනුර කුමාර දිසානායක නම් කරනු ලැබුණි.
ඉරිදා (අගෝස්තු 18) කොළඹ ගාළු මුවදොර පිටියේ දැන් පැවැත්වෙන ජන රැළියේ දී ජවිපෙ ජනාධිපති ධූර අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
තමා 'ජාතික ජන බලවේගයේ' ජනාධිපති ධූර අපේක්‍ෂකයා හැටියට ප්‍රකාශයට පත් කරනු ලැබීමෙන් අනතුරුව එහි රැස්ව සිටි ජනතාව අමතා කතා කළ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක,ස්ථිරසාර ලෙස මහජනතාවගේ ආරක්ෂාව සහතික කළ හැක්කේ පොලිස් මුරපොළවල් ස්ථාපිත කිරීමෙන් නොව, ජාතික සමගිය ගොඩ නැගීමෙන් පමණක් බව කියා සිටියේය.
ජාතික සමගිය ගොඩනැගීම සඳහා ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගන්නා බවට ජනතාවට සහතික වන්නේ යයි 'ජාතික ජන බලය ව්‍යාපාරයේ' ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහජනයා ඉදිරියේ ප්‍රතිඥාවක් ද දුන්නේය.
"කිසිදු ජාතිවාදියෙකුට, අන්තවාදියෙකුට මහජනතාවගේ ආරක්ෂාව සහතික කරන්න බැහැ. ඔවුන්ට පුළුවන් - පාසල් ඉදිරියේ මුර කපොලු වැඩිකරන්න. ඔවුන්ට පුළුවන් - ගම්මාන බෙදා වෙන් කරන මුරකපොලු වැඩිකරන්න. හැබැයි, මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න පුළුවන් වන්නේ සියළු ජනතාවගේ අනන්‍යතා පිළිගන්නා, ඒ ඒ ජනතාවගේ සංස්කෘතීන්, ඒ ඒ ජනතාවන්ගේ භාෂාවන්හි ගරුත්වය පිළිගන්නා ජාතික සමගිය නිර්මාණය කිරීමෙන් පමණක් බව අප විශ්වාස කරනවා" ජාතික ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අවධාරණය කළේය.
"ජාතිකත්වය මත පදනම්වූ බෙදීම්, ලිංගිකත්වය මත පදනම් වූ බෙදීම්, කුලය මත පදනම් වූ බෙදීම් මුළු මනින්ම ඉවත ලන ලද, ජනතා හදවතේ අධ්‍යාත්මයෙන් බැඳුන 'මහා මිනිස් සමාජයක්' මාතෘ භුමිය තුළ ස්ථාපිත කරන බවට අපි සහතික වෙනවා" යයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
පුද්ගල නිදහස මෙන්ම, නිදහස් මතයක් දැරීමේ අයිතිය රැකීමෙන් පමණක් සමාජයක විනයක් ඇතිකළ හැකි බවත්, නීතිය හා සාමය ස්ථාපිත කළ හැක්කේ එතුලින් බවත් ඔහු පෙන්වා දුන්නේය.

වසර 71ක විනාශකාරී ආර්ථික වැඩපිළිවෙල වෙනුවට ජාතික නිෂ්පාදනයට පණ දෙන නව ආර්ථික උපාය මාර්ගයකට රට ගෙනයන බව අනුර කුමාර දිසානායක පවසයි.
"මාව විශ්වාස කළ ජන බලවේගයේ සහ පොදු මහජනතාවගේ විශ්වාසය අබමල් රේණුවකින්වත් හානි නොකරන බවට සහතික වෙනවා.මේ සටන කෙළවර කරන්නේ අනිවාර්යෙන්ම ජයග්‍රහණයකින්" ජාතික ජන බලයේ ජනපති අපේක්ෂක ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කියා සිටියි.
"යල් පැනගිය අසාර්ථක වූ විනාශකාරී මාවත අතහැර ජනතාවට සතුට, සැපත සහ නිදහස ගෙන දෙන මෙම සෞභාග්‍යයේ මාවතට එක්වන ලෙස" ජනතා විමුක්ති පෙරමුණේ නායක,ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකික ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.








