ශ්‍රී ලංකාව, මැතිවරණ සහ පිල් මාරු දේශපාලනය

ශ්‍රී ලාංකික ජනතාව යළිත් වරක් මැතිවරණ උණුසුමට මුහුණ දෙමින් සිටිති.
ඒ, එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂ සිය අපේක්ෂකයන් තෝරා ගනිමින් සහ ඒ සඳහා 'බල පොරයක' නිරතව සිටින පරිසරයක් තුළදීය.
පිල් මාරුව, මැතිවරණ උණුසුමත් සමග බැඳුන දේශපාලන සූදුවකි.
ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසය පිරික්සීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන් තේරී පත් වූ පක්ෂය අතහැර වෙනත් පක්ෂයකට සහය දුන් අවස්ථා රාශියකි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කෙරුණ එම පක්ෂ සම්මේලනයේදී ගන්නා ලද ඡායාරූපයක් සමඟ "පිල් මාරුව" සමාජ ජාල ඔස්සේ යළි කරලියට පැමිණ තිබේ.
ඒ ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ අතර එහාමෙහා "දෝලනය වෙන" එස්.බී දිසානායක හිටපු අමාත්‍යවරයා, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂගේ "තුරුලේ සිටින" ඡායාරූපයක් සමාජ ජාල තුළ පළ වීමත් සමගය.

එස්.බී දිසානායක 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජයට පත් වූ අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබා දුනි.
තමන් එම මහ මැතිවරණයෙන්(2015) පරාජයට පත් වුණේ, මහින්ද පාර්ශ්වය විසින් ඔහු ඇතුළු මෛත්‍රිපාල පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් පරාජය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබීම නිසා බව ඔවුහු එදා කියා සිටියේ චෝදනා මුඛයෙනි.
කෙසේ වුවත්, ශ්‍රී ලංකාවේ සමකාලීන දේශපාලනය තුළ බල පෙරැළි සිදු වන බොහෝ අවස්ථාවන්හි එස්.බී. දිසානායකගේ නම ද ඉදිරියෙන්ම කියැවෙයි.
ආරම්භය කොමියුනිස්ට් පක්ෂයෙන්

ඡායාරූප මූලාශ්‍රය, MAITHRPALA SIRISENA/FACEBOOK
එස්.බී දිසානායක:
- 1994 - පොදුජන පෙරමුණ යටතේ තරග කර පාර්ලිමේන්තුවට තේරී පත් විය. සමෘද්ධි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ධූරය දැරීය.
- 2000 - මහාචාර්ය ජී.එල් පීරිස්, ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර එක්සත් ජාතික පක්ෂය සමග එක් විය. 2001 වසරේ පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වූ අතර එස්.බී දිසානායක යළිත් සමෘද්ධි හා කෘෂිකර්ම අමාත්‍ය ධූරය හිමි විය. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඔහු පක්‍ෂයේ ජාතික සංවිධායක ධුරයට පත් කළේය.
- 2009 - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක් විය. එසේ එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ, "එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක් වන" බවය. 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහයෝගය දුන්නේය.
- 2015 - ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය දුන්නේය. මහින්ද රාජපක්ෂ පරාජයට පත් විය.
- 2015 - මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ද ඔහු පරාජයට පත් විය. එම මැතිවරණයේදී ඔහු මෛත්‍රීපාල සිරිසේන පාර්ශවය නියෝජනය කළ අතර, ඡන්දයෙන් පරාජය වුව ද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තු වරම් ලැබීය. ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය සමග එක්ව පිහිටවූ ජාතික ආණ්ඩුවේ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධූරය ලැබීය.
- 2018 - අගමැති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කරමින් මහින්ද රාජපක්ෂ යටතේ රජයක් පිහිටුවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් උත්සාහයට සහයෝගය දුන්නේය.
- 2019 - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කිරීමෙන් පසු එම පාර්ශවය සමග එක් විය.
එස්.බී. පමණ ද?
ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන ඉතිහාසය පිරික්සීමේදී පක්ෂ මාරු කළ දේශපාලනඥයන් රැසක් හමුවෙති.
කෙහෙළිය රඹුක්වැල්ල, ලක්ෂ්මන් සෙනෙවිරත්න, බන්දුල ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස්, දයාසිරි ජයසේකර, මංගල සමරවීර, මනූෂ නානායක්කාර, වෛද්‍ය රාජිත සේනාරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්ධන,ගාමිණී ලොකුගේ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,වසන්ත සේනානායක, විජේදාස රාජපක්ෂ ඉන් කීප දෙනෙකි. එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසි විජිත් විජිතමුණි සොයිසා මේ වන විට එක්සත් ජාතික පෙරමුණට සහය ලබා දෙයි.

එස්.බී දිසානායකගේ ඉහත දැක්වෙන ඡායාරූපය සහ මැතිවරණ සමයේ පක්ෂ මාරු කරන දේශපාලනඥයන් සමච්චලයට පත් කෙරෙන අදහස් ඇතුළත් ප්‍රකාශන සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතී.
තවත් පිරිසක් එවැනි පිල්මාරු සාධාරණීකරණය කෙරෙන්නේ පක්ෂ අභ්‍යන්තරයේ ඇති ගැටලු හේතුවෙන් එසේ කිරීමට බල කෙරෙන බව පවසමිනි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වයට අභියෝග කරමින් පක්ෂයෙන් ඉවත්ව ගිය මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු ඉන් ඉවත්ව යාමට හේතු ලෙස දැක්වූයේ නායකයා සමග පැවති නොගැලපීම් සහ "කෙනහිලිකම්ය".
පිල් මාරු කරන දේශපාලනඥයන්ගේ මන්ත්‍රී ධූර අහෝසි කළ හැකි ද?
දේශපාලන පක්ෂ විනය චෝදනා මත සිය මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමේ අවස්ථා ඇත.
එලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කර මාසයක් ගත වූ පසු, ඔහුගේ හෝ ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (අ) වන වගන්තිය මගින් පැහැදිලි කර තිබේ.
එහෙත්, එම වගන්තියේ ම අතුරු වගන්තියක් ලෙස දක්වා ඇත්තේ, පක්ෂ සාමාජිකත්වය අහෝසි කර මාසයක් ගත වීමට පෙර, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කිරීමෙන් පසුව එම අහෝසි කිරීම වලංගු නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි නොවන බවය.

ඡායාරූප මූලාශ්‍රය, Www.parliament.lk
එවැනි නඩු තීන්දු කීපයක තොරතුරු පහත දැක්වේ. (උපුටා ගැනීම: www.manthri.lk)

ඡායාරූප මූලාශ්‍රය, Www.manthri.lk
තවදුරටත් කියවන්න.









