ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභා යනු කුමක් ද? එය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම වරදක් ද?
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැයි 29 වෙනිදා පාර්ලිමේන්තුවේ දී රැස් විය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මාධ්‍ය වෙත විවෘත වූ පළමු අවස්ථාව මෙය විය.
ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් එදින කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබා දුන්හ.
බොහෝ මාධ්‍ය ආයතන කාරක සභාවේ ක්‍රියාදාමයේ සජීව දර්ශන විකාශය කළ නමුත් එය හදිසියේම නවතා දමනු ලැබිණ.
අගමැති රනිල් වික්‍රමසිංහ දුරකතනයෙන් ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කාරක සභාවේ කටයුතු සජීව ලෙසින් විකාශය කිරීම දැඩි දෝෂදර්ශනයට ලක් කළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණි.
රටේ බුද්ධි අංශ තොරතුරු ඇතුළු කරුණු මාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විවේචනයට ලක් වූ අතර ඒ ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල සංවාදයක් ගොඩනැගී තිබේ.
කාරක සභාවක කටයුතුමාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නීතියට පටහැණි ද?
"කාරක සභාවක ක්‍රියාදාමය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් නැහැ. නමුත් මෙයින් සදාචාරාත්මක ගැටලුවක් පැන නගින බව බොහෝ දෙනෙක් කියනවා. කොහොම වුණත් මේ වගේ ප්‍රශ්න කිරීම් මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරපු අවස්ථා ලෝකයේ ඕනෑ තරම් තිබෙනවා," යැයි නීතීඥ සී එච් ගුණවර්ධන බීබීසී සිංහල සේවයට පැවසීය.
"කාරක සභා ප්‍රශ්න කිරීම් එළිපිට සිදුවීමෙන් මිනිස්සුන්ට තොරතුරු වසන් වෙන්නේ නැහැ. වැරදි තොරතුරු සමාජගත වෙන්නේ නැහැ. නමුත් ඇති වී තිබෙන තත්වයත් එක්ක යම් සංවේදී බුද්ධි තොරතුරු පිටතට යෑම ඉතා භයානකයි. මේ වගේ දේවල් මාධ්‍ය ඉදිරියේ සාකච්ඡා කිරීමේ දී ඉතා ප්‍රවේශම් විය යුතුයි," ඇය තවදුරටත් පැවසුවාය.
මාර්තු 23 වෙනි දින පැවති පාර්ලිමේන්තු රැස්වීමේ දී කතානායක කරු ජයසූරිය ප්‍රකාශ කළේ විශේෂ කාරක සභාව මාධ්‍ය වෙත විවෘත කරන බවය.
එමෙන්ම, සභාවේ කටයුතු මාධ්‍ය වෙත විවෘත කිරිමේ වගකීම කාරක සභාවේ සභාපතිවරයාට පැවරෙන බව ද කතානායකවරයා තවදුරටත් පැවසීය.
නියෝජ්‍ය කථානායක, ජේ එම් ආනන්ද කුමාරසිරි විශේෂ කාරක සභාවේ සභාපතිත්වය දරයි.
හිටපු අමාත්‍ය රවුෆ් හකීම්, අමාත්‍ය රවි කරුණානායක සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, මහාචාර්ය ආශූ මාරසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, එම් ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරු මෙම විශේෂ කාරක සභාවේ සාමාජිකත්වය දරති.
පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන ඉවත්වීම හේතුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පත් කළ බව කතානායක කරූ ජයසූරිය පසුගිය දා පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේ ය.
තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු වෙනවා ද?
කාරක සභා ක්‍රියාවලිය මාධ්‍ය වෙත විවෘත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දැක්වූ අමාත්‍ය නීතිඥ අජිත් පී පෙරේරා පැවසුවේ "පාර්ලිමේන්තුවේ කටයුතු වාරණයකින් තොරව ප්‍රචාරය කරන්න ඉඩ දීම නිසා පාර්ලිමේන්තුවේ හොඳ නරක, මැති ඇමතිවරු සිදු කරන දේවල් ජනතාවට දැනගන්න පුළුවන්," යනුවෙනි.
"සභාවේ වගේම කාරක සභාවල සිදු කරන දේවල් ජනතාව දැනගත යුතුයි. එම තොරතුරු දැනගැනීමේ අයිතිය ජනතාවට තිබෙනවා. මේ විශේෂ කාරක සභාව විතරක් නෙවෙයි, පාර්ලිමේන්තුවේ ප්‍රධාන කාරක සභා වාර්තා කරන්නත් මාධ්‍යයට ඉඩ දිය යුතුයි. එහෙම නැත්තම් වැරදි තොරතුරු සමාජ ගතවෙනවා," අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේය.
මේ අතර, මාර්තු 23 වෙනිදා පාර්ලිමේන්තුව හමුවේ අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පැවසුවේ, "අධීක්ෂණ කාරක සභා මාධ්‍යයට විවෘත කිරිමේ යම් බාධා තිබෙනවා. ඒ සඳහා ස්ථාවර නියෝග වල යම් වෙනස්කම් සහ සංශෝධනයන් කෙරෙහි අවධානය යොමුකරන්නට සිදුවෙනවා," යනුවෙනි
"පාර්ලිමේන්තුවේ අපි කොපමණ හොඳ වැඩ කළත් ජනතාව අතරට යන්නේ නැහැ. ස්ථාවර නියෝග වල යම් වෙනස්කම් සිදුකර හෝ මේ සඳහා අවස්ථාව ලබාදිය යුතුයි."
2017 පෙබරවාරි මස සිට ක්‍රියාත්මක 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් අදාළ බලධාරීන් ජනතාවට වගවීමේ මෙවලමක් ලෙස භාවිත කිරීමට සමාජය වග බලාගතයුතු බව, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ අංශයේ වැඩසටහන් කළමනාකරු, සංඛිතා ගුණරත්න මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ අදහස් දක්වමින් පැවසීය.
මේ තොරතුරුද කියවන්න:
ලෝකයේ වෙනත් රටවල මෙවැනි දේ සිදු වී තිබේ ද?
- 2005 ජූලි මස ලන්ඩන් නුවර සිදු වූ ත්‍රස්ත ප්‍රහාර ගැන සහ ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන ගැන 2013 නොවැම්බර් මස පැවැත් වූ බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු සභා රැස්වීමක් මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය විය. මෙහි දී බ්‍රිතාන්‍යය රහස් ඔත්තු සේවයේ ප්‍රධානී ඇන්දෘ පාකර් ඇතුළු බුද්ධි අංශ ප්‍රධානීන් පිරිසක් මිනිත්තු 90ක කාලයක් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කළහ.
- ෆේස්බුක් සමාගම තම පරිශීලකයන්ගේ දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අතර, ඒ ගැන කරුණු දැක්වීම් සඳහා ෆේස්බුක් ප්‍රධානී මාර්ක් සකර්බර්ග් 2018 මාර්තු මාසයේ දී ඇමරිකානු සෙනට් මණ්ඩලයට කැඳවීය. අදාළ චෝදනාව පදනම්ව තිබුණේ 'Cambridge Analytica' නමැති සමාගමක් රැස් කළ දත්ත සම්බන්ධයෙනි. සෙනට් මණ්ඩල සාමාජිකයන් මාක් සකර්බර්ගෙන් ප්‍රශ්න කරන ආකාරය ලොව පුරා මාධ්‍යවල සජීවී ලෙස විකාශනය විය.
- සමාජ මාධ්‍ය ජාලවල පැතිරෙන ව්‍යාජ පුවත්, වෛරී ප්‍රකාශ නවතාලීමට අදාළ ආයතන අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග ගැන ප්‍රශ්න කිරීම සඳහා ට්විටර් ප්‍රධානී ජැක් ඩොසේ ඇමරිකාවේ සෙනට් මණ්ඩලය ඉදිරියට කැඳවන ලද අතර, එම ක්‍රියාවලිය මාධ්‍ය ඔස්සේ විකාශනය කිරීමට කටයුතු කළේය.
- බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් පැවැත්වෙන සෙනට් මණ්ඩල තේරීම් කාරක සභා බොහෝ විට අදාළ වෙබ්අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීමට ඇමරිකාව ක්‍රියා කරන්නේය. ඒ හා සමාන වෙබඅඩවියක් බ්‍රිතාන්‍යයේ ද දක්නට ඇත.
කාරක සභාවක් යනු කුමක් ද?
පාර්ලිමේන්තු රැස්වීමක දී ලැබෙන කාලය සීමාසහිත නිසා පාර්ලිමේන්තු සභා ගර්භය තුළ සෑම කාරණයක්ම දීර්ඝ ලෙස සාකච්ඡාවට භාජනය කිරීම අපහසුය.
අදාළ කටයුතු වඩාත් ඉක්මනින්, සාර්ථක ලෙස නිම කර ගැනීමේ ප්‍රායෝගික ක්‍රමය වන්නේ එම වගකීම් සභාවක් හෝ නම් කරන ලද කණ්ඩායමක් වෙත පැවරීමය.
කාරක සභා ක්‍රමය බිහිවන්නේ මෙවන් වටපිටාවකය. එයට පාර්ලිමේන්තු නියෝජිතයන් සුළු පිරිසක් ද ඇතුළු වේ.
එක්සත් ජනපද කොන්ග්‍රසයේ ව්‍යවස්ථා සම්පාදන ව්‍යාපෘති, ජාතික ආරක්ෂාව වැනි අතිශය වැදගත් කරුණු ගැන මූලික සාකච්ඡා සිදු කිරීම සඳහා කාරක සභා පිහිටුවීම ස්ථාපිත වූ ක්‍රියා පිළිවෙලක් බවට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ආරම්භයේ සිට කාරක සභා සැලකිය යුතු ප්‍රමාණයක සේවය ලබාගෙන තිබේ. එහි අරමුණ වී ඇත්තේ පාර්ලිමේන්තුවට පැටවෙන අධික රාජකාරි ප්‍රමාණය අවම කිරීමය.
කාරක සභා පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 74 වෙනි වගන්තියෙන් පිළිගනු ලැබ ඇති අතර එමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු විධිමත් කිරීම සඳහාත් පාර්ලිමේන්තු රැස්වීම්වලදී විනය ආරක්ෂා කර ගැනීම සඳහාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් විධිවිධාන සැලසිය යුතු හෝ බලාත්මක කිරීම අවශ්‍ය වන ඕනෑම කාරණයක් සඳහාත් ස්ථාවර නියෝග සෑදීමේ බලය පාර්ලිමේන්තුවට එමගින් ලැබී තිබේ.
කාරක සභා වර්ග
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාරක සභා පුළුල් කාණ්ඩ දෙකකට වර්ගීකරණය කළ හැකිය.
ඒවා නම්, ස්ථාවර කාරක සභා සහ තත් කාර්ය කාරක සභා (තනි කාර්යයක් සඳහා වන කාරක සභා) වශයෙනි.
ස්ථාවර කාරක සභා පත් කිරීම ස්ථාවර නියෝග අනුව කථානායකවරයා විසින් සිදු කරනු ලබන අතර එම කාර්යය අවසන් වීමෙන් පසුව වුවද ඒවා දිගටම ක්‍රියාත්මකව පවතී.
ඒවායේ නිල කාල සීමාවේ යම් කිසි ස්ථාවර තත්ත්වයක් පවතියි. මෙම කාරක සභා සභාවේ විශේෂිත කටයුතු සම්බන්ධව ක්‍රියා කරයි.
තත් කාර්ය කාරක සභා බොහෝ විට තාවකාලික වන අතර නියමිත කාර්යය අවසන් වු වහා ම ඒවා අහෝසි වේ. මෙම කාරක සභා වරින් වර ඒවාට පවරනු ලබන විශේෂිත කාර්යයන් ක්‍රියාත්මක කරයි. මේවා විශේෂ කාරක සභා යනුවෙන් ද හැඳින්විය හැකිය.
ස්ථාවර නියෝග අනුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට අමතරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සතු කාරක සභා වර්ග පහකි.
- විශේෂ කාරක සභා
- ආංශික අධීක්ෂණ කාරක සභා
- අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා
- ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා
- විශේෂ කාර්යයන් සඳහා වන කාරක සභා
මූලාශ්‍ර: ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව