ශ්‍රී ලංකාවේ පිපිරීම්: බුර්කා තහනම සමග හිජාබයත් තහනම් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම තහනම් කිරීම මගින් මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය ද තහනමට ලක් වූ බවට පළ වූ වාර්තා නිවැරදි නොවන බව අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.
"බුර්කාව සහ නිකාබය තහනම්. හිජාබය අඳින්න පුළුවන්," අමාත්‍යවරයා මේ බව බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළේ, "රජයේ ඉහළ තැන්වලින්" මේ ගැන තමන් කරුණු විමසූ බව පවසමිනි.
හිජාබය යනු සම්පූර්ණයෙන් මුහුණ ආවරණය නොවන, හිස පමණක් ආවරණය වන පැළඳීමකි.
මේ පිළිබඳව බීබීසි සිංහල සේවයට අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි පැවසුවේ, බුර්කාව සදාකාලිකව තහනම් විය යුතු බවය.
"නිකාබ්, බුර්කා සදාකාලිකව යා යුතුයි. හිජාබ් පැළඳීමේ අයිතිය සුරැකිය යුතුයි," යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් විය. ඒ හදිසි නීති රෙගුලාසි යටතේය.
මෙම තහනම පැනවීමට පෙර ප්‍රධාන මුස්ලිම් ආගමික සංවිධානයක් වන සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය ද මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලීමක් කළේ මුහුණු ආවරණය කරන නිකාබ්/බුර්කා පැළඳීමෙන් වළකින ලෙසය.
"පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන අපගේ සහෝදරියන් විසින් මුහුණු ආවරණය (නිකාබ්) පැළඳීමෙන් ජාතික ආරක්ෂාව පවත්වාගෙන යෑමට සිටින ආරක්ෂක අංශයන්ට බාධාවක් වන අයුරින් කටයුතු නොකරන මෙන් ඉල්ලා සිටින්නෙමු," යනුවෙන් එම සංවිධානය පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මෙම තහනම ගැන සමාජය නිසි ලෙස දැනුවත් නොවීම නිසා සාමාන්‍යයෙන් හිස පමණක් වසන හිජාබය පළඳින කාන්තාවන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දුන් බව ඇතැම් මුස්ලිම් කාන්තාවෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.
"මම නම් මේකට කැමතියි. අපේ තරුණ ළමයි මේක මේ ළඟකදී ඉඳන් අඳින්න ගත්තා ෆැෂන් එකට වගේ. අපි නම් ඉස්සර ඉඳන් ඇන්දේ සාමාන්‍ය හිජාබයත් එක්ක එන ඇඳුම. හැබැයි මට දුක කඩේකට යන්න ගියා ම මේකටත් ප්‍රශ්නයක් දැම්මා," මරදානේ පදිංචි 63 හැවිරිදි සිත්ති මුණව්වරා කියා සිටියාය.
මේ සම්බන්ධයෙන් නිසි දැනුවත් කිරීමක් සිදුකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඇය කියා සිටියාය.
මුහුණ ආවරණය කරන නිකාබය පැළඳ සිටීමට හුරු වී සිටි මුස්ලිම් තරුණියක බීබීසි සිංහල සේවයට පැවසුවේ, සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය එම ඉල්ලීම කළ අවස්ථාවේ ම තමන් මුහුණ ආවරණය කිරීම අත්හැර දැමූ බවය.
"මේක මම පැළඳුවේ ආගමික කාරණා මත. නමුත් අපේ ආගමේ නායකයන් ම කියනකොට මේක ගලවන්න කියලා. එතන ප්‍රශ්නයක් නැහැ. මොක ද ආගම ගැන රටේ ආරක්ෂාව ගැන ඔවුන් අපිට වඩා දන්නවා," නම සඳහන් කිරීමට අකමැති වූ ඇය කියා සිටියාය.
මේ ගැනත් කියවන්න:

"මේ ගැන කනගාටුවක් නැහැ, හැබැයි ලොකු තරහක් තියෙනවා. අපේ ආගමේ නම යොදාගෙන මේ අවාසනාවන්ත තත්ත්වය ඇති කරපු ත්‍රස්තවාදීන් ගැන. අහිංසක ජීවිත කීයක් නැති වුණා ද? ඒ වගේ ම අපේ ආගමික නිදහස මේකෙන් නැති වුණා. මේකට වග කියන්න ඕන මේ ත්‍රස්තවාදීන්." ඇය කනගාටුවෙන් කියා සිටියාය.
28 හැවිරිදි ෆාතිමා නස්රිනා, රජයේ රෝහලක නිලධාරිනියකි. මේ ඇයගේ අත්දැකීමයි.
"මම පළඳින්නේ සාමාන්‍ය හිජාබයක්. අද ඉස්පිරිතාලෙට වැඩට ගියා ම එතන හිටපු ආරක්ෂක නිලධාරීන් ඒක ගලවන්න කිව්වා. මම කිව්වා මම මුහුණ වහගෙන නැහැ ඒ නිසා ගලවන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් ඔවුන් කිව්වා ගලවන්න කියලා. මේ ගැන නිසි දැනුවත් කිරීමක් සියලු දෙනාට කළ යුතුයි. මොනවා ද අඳින්න පුළුවන්, මොනව ද බැරි කියලා." ඇය කියා සිටියාය.










