ශ්‍රී ලංකාවේ ප්‍රහාර: මුහුණු ආවරණ සඳුදා සිට තහනම්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකාව තුළ ජනතාවගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන ලෙස මුහුණ ආවරණය කිරීම සඳුදා (අප්‍රේල් 29) සිට හදිසි අවස්ථා නියෝග යටතේ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
මෙහිදී අනන්‍යතාව තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරනය කිරීමේ අවශ්‍යතාවය යයි එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිළි කර තිබෙන බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
"රටේ ජාතික ආරක්ෂාව මෙන්ම කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන සාමකාමී සහ සහජීවනයෙන් යුත් සමාජයක් ඇති කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණයට එළඹ ඇත," යනුවෙන් ද නිවේදනය සඳහන් කරයි.
මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙසින් සැලකෙන සහ්රාන් හෂීම්ගේ පියා සහ සහෝදරයන් දෙදෙනා, සිකුරාදා දියත් කළ මෙහෙයුම අතරවාරයේ මියගොස් ඇති බව පොලිසිය පැවසීය.
කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ සහ්රාන් හෂීම් ජාතික තව්හීඩ් ජමාත් අන්තවාදී සංවිධානයේ නායකයා ලෙස සැලකේ.
හදිසි නීතිය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම සංවිධානය තහනම් කිරීමට කටයුතු කර තිබේ.
සහ්රාන් හෂීම්ගේ පියා සහ සොහොයුරන් මරුමුවට පත් වී තිබෙන්නේ පොලිසිය සිකුරාදා රාත්‍රියේ සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් වැටලූ අවස්ථාවේ හටගත් ගැටුම අතරවාරයේදීය.
පොලිසිය පවසන පරිදි සිකුරාදා මෙහෙයුම අවස්ථාවේ ආරක්ෂක හමුදා ළඟාවන විට තුවක්කුකරුවන් ඔවුන් දෙසට වෙඩි තැබූ අතර, එහිදී පුරුෂයන් තිදෙනෙකු පුපුරණ ද්‍රව්‍ය පුපුරවා ගත් අවස්ථාවේ ඔවුන් තිදෙනාත්, දරුවන් හය දෙනෙකු සහ කාන්තාවන් තිදෙනෙකු මරුමුවට පත්වී තිබේ. ඉන් අනතුරුව හටගත් වෙඩි හුවමාරුවේදී තවත් තිදෙනෙක් මරුමුවට පත්වූහ.
මේ අතර පවතින තත්වය පිළිබඳව නිවේදනයක් නිකුත්කරන අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරන්නේ ප්‍රදේශවාසී මුස්ලිම් ජනතාව ලබා දුන් තොරතුරු ආරක්ෂක අංශවල මෙහෙයුම් සඳහා ප්‍රබල රුකුලක් වූ බවය.

"පසුගිය සිකුරාදාත්, සෙනසුරාදාත් සමන්තුරේ, නින්දවූර්, අඩ්ඩාලච්චේනෙයි, සයින්දමරුදු ප්‍රදේශවල නිවාස කිහිපයකින් ජිහාඩ් ත්‍රස්තවාදීන් සහ ඔවුන්ගේ ආයුධ අත්පත් කර ගැනීමට හැකියාව ලැබුණා. මෙය කරන්නට හැකි වුණේ ඒ ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ලබාදුන් ඔත්තු සහ කරුණු දැක්වීම් නිසයි," යනුවෙන් අගමැතිවරයා නිකුත්කළ නිවේදනයක දැක්වේ.
ශ්‍රී ලංකාවේ රහස් ඔත්තු සේවා හෙවත් "බුද්ධි අංශ" අඩපණ කරන ලද බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාරය පළ කරන අගමැතිවරයා පවසන්නේ, ගතව ගිය වසර කිහිපය තුළ බුද්ධි අංශ පමණක් නොව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ශක්තිමත් කර තිබෙන බවය.
ජාතික තවුහීඩ් ජමාත් සංවිධානය සිය අපරාධ රැල්ල ආරම්භ කළේ පසුගිය නොවැම්බර් 30 වෙනි දින මඩකලපුව වව්නතිව්හි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනය කිරීමෙන් බව පෙන්වා දෙන අගමැතිවරයා, "ඊට පසුව මාවනැල්ලේ බුදුපිළිම කඩා දමා කබීර් හෂීම් ඇමැතිතුමාගේ මුස්ලිම් ලේකම්වරයාට වෙඩි තැබුවා. වනාතවිල්ලූවේ ඔවුන්ගේ පුහුණු කඳවුරක් තිබුණා. මෙම කඩාකප්පල් කිරීම්, විනාශ කිරීම් ආරම්භ කළේ ඉන්පසුවයි," යනුවෙන් ද විස්තර කරයි.
ඒ සියලු ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නගන බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරන්නේ, පාස්කු ඉරිදා දෙමටගොඩ දී සැකරුවන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ මියගිය පොලිස් නිලධාරීන් තිදෙනා හැරුණු විට සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශයේ එක් ජීවිතයක් හෝ අහිමි වී නැති බවය.
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
මේ අතර නිවේදනයක් නිකුත් කරන කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසන්නේ, "ප්‍රහාරවලට සම්බන්ධ කෙටිකාලීන සහ විශේෂිත වූ කාරණා සඳහා" එක්සත් ජනපද විශේෂඥයන් කණ්ඩායමක් ශ්‍රී ලංකා හවුල්කරුවන් (නිලධාරීන්) සමග සමීපව කටයුතු කරමින් සිටින බවය. එක්සත් ජනපද විශේෂඥයන් දිගුකාලීනව ශ්‍රී ලංකාවේ රැඳී සිටීමක් බලාපොරොත්තු නොවන බව ද එහි දැක්වේ.
පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන නමුත් ඉරිදා (අප්‍රේල් 28) රාත්‍රියේ රට පුරා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන බව පොලිසිය නිවේදනය කොට තිබේ. කෙසේ වුවත් කල්මුනේ, සමන්තුරේ සහ චවලකඩේ ප්‍රදේශවල ඉරිදා සවස පහේ සිට තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.
කාත්තාන්කුඩි මුස්ලිම් සංවිධාන
සිය ප්‍රදේශය නියෝජනය කරන "ත්‍රස්තවාදීන් සුළු පිරිසක්" පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධවීම ගැන තමන්ට වේදනාවක් මෙන්ම ලැජ්ජාවක් ද බව කාත්තාන්කුඩි සිවිල් සංවිධාන සම්මේලනය සඳහන් කර තිබුණි.
ප්‍රදේශවාසීන් ආරක්ෂක හමුදාවලට ඔත්තු සහ කරුණු සැපයූ බවට අගමැතිවරයා කරන ප්‍රකාශය තහවුරු කරන එම සංවිධානය පවසන්නේ, සහ්රාන් හාශිමිගේ ක්‍රියා කළාපය ප්‍රදේශයේ මුස්ලිම් සංවිධාන දිගින් දිගටම හෙළා දුටුවා පමණක් නොව ඒ පිළිබඳ පොලිසියට ද පැමිණිලි කළ බවය.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
ඔහු "රටේ සාමයට හා ආරක්ෂාවට දැඩි අනතුරක් ඇති කරන බව අප ආරක්ෂක නිලධාරීන් වෙත දැනුම් දුන්නෙමු. එහෙත් ඔහුගේ ක්‍රියාකාරකම් නැවැත්වීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගත් බව සිතේ," යනුවෙන් ද කාත්තාන්කුඩි සිවිල් සංවිධාන සම්මේලනය පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයක දැක් වේ.
කියවන්න:











