ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දේවස්ථාන සහ හෝටල්වල පිපිරීම්: ශ්‍රී ලංකාවේ පිපිරීම් දෙස ලෝකයේ අවධානය
ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක සිදුවූ බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් ලෝක නායකයින් රැසක් සිය අදහස් පළ කර ඇත.
ඉරිදා එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානුවන් ශ්‍රී ලාංකිකයන් වෙත හදවතින්ම ශෝකය පළ කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ශ්‍රී ලංකාවේ සිදු වූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශෝකය ප්‍රකාශ කරයි.
"වටිනා ජීවිත සහ සිය ගණනක් තුවාල ලද ශ්‍රී ලංකාව තුළ පාස්කු ඉරිදා එල්ල වූ බියකරු ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙළා දකිනවා" යනුවෙන් ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වේ.
"ශ්‍රී ලංකාවේ සිදුවූ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරයන් ඉන්දියාව තරයේ හෙළා දකින," බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිවේදනය කර තිබේ.
සිංහල බසින් මෙන් ම ඉංග්‍රීසි බසින් ද ට්විටර් පණිවුඩ පළ කරමින් ඔහු පවසා ඇත්තේ, "ඉන්දියාව මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකා රජය සහ ජනතාව සමග සිටින" බවය.
මේ අතර, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ ද ට්විටර් ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇත.
ඇය පවසා ඇත්තේ, "කිසිදු පුද්ගලයෙකු තමන්ගේ විශ්වාසය මත බියකට පත් වීමට ඉඩ නොතැබිය යුතු," බවය.
මේ අතර, බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ජෙරමි හන්ට් ට්විටර් ඔස්සේ පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ දේවස්ථාන සහ හෝටල් කිහිපයකට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් කම්පනයට පත්වූ බවය.
මේ අතර, ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය සිය පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙසට සංචාරක උපදෙස් නිකුත් කර තිබේ.