ඉන්දියාව හා පාකිස්තානය යුද වැදුණොත් ශ්‍රී ලංකාවේ කලදසාව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉන්දියාව සහ පාකිස්තානය අතර කලක් යටපත් ව තිබූ ගැටුම් යළි වර්ධනය වෙමින් තිබේ.
සියල්ල සිදුවන්නේ කාශ්මීරයේ අයිතිය උදෙසාය. කාශ්මීරයෙන් කොටසක් පාකිස්තානයත් අනෙක් කොටස ඉන්දියාවත් පාලනය කරයි.
මුළු කාශ්මීරය ම තමන්ගේ බවට දෙරට ම අයිතිවාසිකම් කියයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින සීතල යුද්ධයට ද මෙය ප්‍රධාන හේතුවකි. අළු යට පවතින ගිනි පුපුරු සේ එය වරින් වර ඉස්මතු වේ.
ආසන්නතම සිදුවීම් මාලාව ආරම්භ වූයේ, මේ මස මුලදී කාශ්මීරයේ ඉන්දීය පාලිත භූමිය මත එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකිනි.
ඊට ගොදුරු වූ ඉන්දීය සන්නද්ධ භටයන් 40 දෙනෙකුට දිවි අහිමි විය.

ප්‍රහාරයේ වගකීම පාකිස්තානයේ ක්‍රියාත්මක 'ජයිෂ්-ඊ-මොහොමඩ්' නමැති සන්නද්ධ කැරලි කණ්ඩායම නොපමාව භාර ගත්තේය.
ඊට ප්‍රතිචාර දැක්වීමට ඉන්දියාව ද පමා වූයේ නැත. දේශ සීමාවෙන් ඔබ්බට තම ප්‍රහාරක ගුවන් යානා පියාසර කරවා කාශ්මීරයේ පකිස්තාන පාලන කලාපයට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.
තම ගුවන් කලාපයට ඇතුළු වන ඉන්දීය ප්‍රහාරක යානාවලට වෙඩි තැබීමට පකිස්තාන හමුදාව ද කුරුමානම ඇල්ලුවේ ය.
ඉන්දීය ජෙට් යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමට පාකිස්තානුවෝ සමත් වූහ. එක් ඉන්දීය ගුවන් නියමුවෙකු ඔවුන්ගේ ග්‍රහණයට හසු විය.
කාශ්මීරයේ ගැටුම නොසිතූ පරිදි උණුසුම් වන්නට විය.
"මේක න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්වුණොත්?"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ රාජ්‍යයන් දෙක ම කලාපයේ න්‍යෂ්ටික බලවත්හු වෙති. එකිනෙකා තරගකාරීව න්‍යෂ්ටික අත්හදා බැලීම්වල යෙදී ඇත.
දෙරට ම ශ්‍රී ලංකාවට ආසන්නයේ පිහිටා තිබේ.
ඉන්දියාව සහ පාකිස්තානය යුදමය තත්ත්වයකට පැමිණියහොත් එය ශ්‍රී ලංකාවට කෙසේ බලපාවි ද?
සමාජ සහ සංස්කෘතික වශයෙන් කෙසේ වෙතත් ආර්ථික සහ දේශපාලනික වශයෙන් නම් සිදුවන බලපෑම නොවැළැක්විය හැකිය. එය සෘජු හෝ වක්‍රව සිදුවිය හැක.
දෙරටක් යුද වදිද්දී අසල්වැසි රටවලට නිරායාසයෙන් ම ඉන් අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බවට ලෝක ඉතිහාසය සාක්ෂි දරයි.

ඡායාරූප මූලාශ්‍රය, PROF KAMALA LIYANAGE
මේ පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය කමලා ලියනගේ කියා සිටියේ, මෙය න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වුවහොත් මුළු ලොවට ම තර්ජනයක් විය හැකි බවය.
"මේ රටවල් දෙක අතර ගැටුමක් ඇති වුවහොත් මුළු කලාපයේ ම සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් වෙයි කියල බියක් තියෙනවා. මේ රටවල් දෙක ම තරගකාරී ව න්‍යෂ්ටික අත්හදා බැලීම් කරල තියෙනවා. ඒ නිසා න්‍යෂ්ටික හැකියාව තියෙනවා." ඇය පැවසුවාය.
"ඒ රටවල් දෙක පිටුපසින් ලෝක බලවතුන් ඉන්නවා. මේක න්‍යෂ්ටික යුද්ධයක් බවට පත් වුණොත් කලාපයට විතරක් නොවෙයි ලෝකයට ම තර්ජනයක් වේවි."
ලොව කොතැනක යුද්ධයක් ඇති වුවත් බෙදී වෙන්වී සිටින සුපිරි බලවතුන් ඒ යුද්ධය වටා කඳවුරු බැඳ ගැනීම සාමාන්‍ය තත්ත්වයකි.
ඇමරිකාවේ සහ චීනයේ බැල්ම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
එක් සුපිරි බලවතෙකු පකිස්තානයට සහයෝගය දීමට පෙළඹුණහොත් ඊට එදිරිව අනෙක් සුපිරි බලවතා ඉන්දීය හිතවාදී වනු ඇත.
සිරියානු යුද්ධය හමුවේ ද ලොව සුපිරි බලවතුන් ක්‍රියා කළේ මේ ආකාරයටම ය.
ආසියානු කලාපයේ තම බලය තහවුරු කර ගැනීම සඳහා වෙර දරමින් සිටින චීනය සහ ඇමරිකාව මෙහිදී ක්‍රියාශීලී වනු ඇති බව මහාචාර්ය කමලා ලියනගේ පවසන්නීය.
ශ්‍රී ලංකාවේ බඩු මිල
ඉන්දියාවට සහයෝගය ලබා දීමට ඇමරිකාව පියවර ගතහොත් පාකිස්තානය වෙනුවෙන් චීනය පෙනී සිටීමට ඉඩකඩක් ඇති බව ඇයගේ අදහසයි.
යුද්ධෝපායී වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව ඉතා වටිනා ප්‍රදේශයක ස්ථානගත වී ඇති හෙයින් ඒ කෙරෙහි ඇමරිකාවේ සහ චීනයේ බැල්ම තවදුරටත් තීව්‍ර විය හැකි බව මහාචාර්යවරිය ප්‍රකාශ කළාය.
එමෙන් ම ආර්ථික වශයෙන් ද ශ්‍රී ලංකාවට අහිතකර බලපෑම් ඇති විය හැකි බවට ඇය අනතුරු අඟවන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, MADHAWI HERATH
මේ පිළිබඳව කළ විමසීමකදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් බීබීසී සිංහල සේවයට කියා සිටියේ, ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ භාණ්ඩවල මිල ඉහළ යාමක් සිදුවීම වැළැක්විය නොහැකි බවය.
"ඉන්දියාව කලාපයේ ආර්ථික බලවතා. ඉන්දියාව කලාපීය රටවල් නවයක් සමග වෙළෙඳ සහ ආර්ථික ගිවිසුම් ඇති කර ගෙන තිබෙනවා. ඒ ගිවිසුම් අනුව ඉන්දියාව කරන්නේ වැඩියෙන් අපනයනය. අපි කරන්නේ ආනයනය." ඇය පැහැදිලි කළාය.
මේ වන විට ශ්‍රී ලංකාව භාණ්ඩ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉන්දියාවෙන් ආනයනය කරයි.
මුළුතැන්ගෙයි කුළුබඩුවල සිට මහමග දිවෙන වාහන දක්වාත්, නිවෙසේ භාවිත කෙරෙන කුඩා උපකරණයක සිට මහා පරිමාණයේ කෘෂිකාර්මික හා ඉදිකිරීම් යන්ත්‍ර සූත්‍ර දක්වාත් ඒවා ලැයිස්තු ගත කළ හැකිය.

ඡායාරූප මූලාශ්‍රය, PAKISTAN INFORMATION MINISTRY
"ඉන්දියාවේ සහ පකිස්ථානයේ යුදමය තත්වයක් ඇතිවුනොත් ඒ රටවල උද්ධමනය වැඩි වෙනවා. විදේශ විනිමය අනුපාතයේ පහළ යාමක් සිදුවිය හැකියි. රට තුළ භාණ්ඩ මිල ගණන් ඉහළ යා හැකියි." ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් තවදුරටත් පැහැදිලි කරමින් කියා සිටියාය.
"ඉන්දියාවෙන් වාහන වගේ ම තවත් භාණ්ඩ රාශියක් ලංකාවට ගෙන්වනවා. ඒවායේ මිල ගණන් ඉහළ යා හැකියි. මුළු කලාපයට ම ගෙන එන්නේ අහිතකර ප්‍රතිඵල."
මත්තල ගුවන් තොටුපොළ
ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා ඉන්දියාව අනවශ්‍ය පරිදි මැදිහත් වන බවට ඇතැම් දේශපාලනඥයන්ගෙන් සහ විද්වතුන්ගෙන් චෝදනා එල්ල වූ අවස්ථා එමට ය.
නමුත් ඉන්දියාව පාකිස්තානය සමග යුද වැදුණහොත් තම රටේ අභ්‍යන්තර ප්‍රශ්නය කෙරෙහි අවධානය වැඩි වීම නිසා ශ්‍රී ලංකාව කෙරෙහි ඉන්දියාවේ බලපෑම සහ අවධානය අඩු විය හැකි බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත් පවසන්නීය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
කෙසේ නමුත් යුදමය තත්ත්වයකදී කලාපීය වශයෙන් ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ඇතැම් ස්ථාන කෙරෙහි ඔවුන්ගේ අවධානය වැඩි විය හැකි තත්ත්වයක් ද පවතින බව ඇය සඳහන් කළාය.
"උදාහරණයක් වශයෙන් මත්තල ගුවන් තොටුපොළ. කලාපීය වශයෙන් ආරක්ෂාව තහවුරු කර ගැනීමට මත්තල හොඳ ස්ථානයක්. ඒ වගේ ම අපේ ස්වභාවික වරායන් සහ තෙල් ටැංකි වගේ දේවල් කෙරෙහි ඉන්දියාවේ අවධානය වැඩි වෙන්න පුළුවන්. මේවා යුදමය වශයෙන් වැදගත්කමක් තිබෙන දේවල්." ඇය පැවසුවාය.
"මම හිතන්නේ නැහැ අපි ඉන්දියාවේ පැත්ත හෝ පාකිස්තානයේ පැත්ත සෘජුව ම ගනීවි කියල . ඒකට අපිට හැකියාවක් නැහැ. මීට කලින් එහෙම කරලත් නැහැ. කලාපීය වශයෙන් අපිට බැහැ කඳවුරක් ගන්න." ඇය තවදුරටත් කියා සිටියාය.
ඉම්රාන් ඛාන්
දෙරට ම න්‍යෂ්ටික බලවතුන් වුව ද මෙය න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග හැරෙනු ඇතැයි අපේක්‍ෂා කළ නොහැකි බව ඇයගේ අදහස ය.
"න්‍යෂ්ටික අවි භාවිතා කළහොත් ජාත්‍යන්තර වශයෙන් මේ රටවල් දෙක ම හුදෙකලා විය හැකි බව ඔවුන් දන්නවා. ඒ නිසා න්‍යෂ්ටික අවි භාවිත කරන තැනකට යාවි කියල හිතන්න අමාරුයි." යනුවෙන් කථිකාචාර්ය මාධවී හේරත් ප්‍රකාශ කළාය.

ඡායාරූප මූලාශ්‍රය, EPA
සමාජ මාධ්‍ය තුළ සැරිසරන සමහර ශ්‍රී ලාංකිකයෝ ද මේ දිනවල ඉන්දු පකිස්තාන අර්බුදය පිළිබඳව උනන්දුවක් දක්වමින් සිටිති.
පාකිස්තානයට පහර දිය යුතු බව පවසමින් ඉන්දීය ජනතාවගෙන් විශාල පීඩනයක් අගමැති නරේන්ද්‍ර මෝදිට පවතින බව ඉන්දියාවෙන් වාර්තා වෙයි.
නමුත් මේ වන විට පාකිස්තානයේ නව අගමැතිවරයාගේ පිළිවෙත කෙරෙහි ලෝක අවධානය යොමුවී ඇත.
පකිස්තාන හමුදාව අතට පත් වූ ඉන්දීය ගුවන් නියමුවා නැවත ඉන්දියාවට භාර දීමට අගමැති ඉම්රාන් ඛාන් තීරණය කිරීම ඊට හේතුවයි.
මේ අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට මුනිවත රැකිය නොහැකිය. විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කළේය.
ඔවුන් කියා සිටියේ "ත්‍රස්තවාදයේ සියලු ස්වරූප හා විද්‍යමාන වීම්වලට එරෙහිව කෙරෙන්නා වූ සංග්‍රාමයට තිර සහයෝගය ලබා දෙන" බවය.








