ඉන්දියා - පාකිස්තාන උණුසුම: ගුවන් නියමුවා නිදහස් කරන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි

AFP/PAKISTAN INFORMATION MINISTRY (ISPR)

ඡායාරූප මූලාශ්‍රය, AFP/PAKISTAN INFORMATION MINISTRY (ISPR)

පාකිස්තාන විසින් අල්ලාගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා හෙට (මාර්තු 01) නිදහස් කරන බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසයි.

බ්‍රහස්පතින්දා (පෙබ 28) ඔහු මේ බව පැවසුවේ පාකිස්තාන පාර්ලිමේන්තුව අමතමිනි. ඔහු පැවසුවේ "සාමය සඳහා වූ පියවරක්" ලෙස මෙම තීරණය ගත් බවය.

ඉන්දීය ගුවන් හමුදාවේ විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා තමන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පාකිස්තාන තොරතුරු අමාත්‍යාංශය ඊයේ වාර්තා කළේය.

ඉන්පසු ඉන්දීය බලධාරීන් වාර්තා කළේ, සිය ගුවන් හමුදාවේ සේවයේ නියුතු විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා අතුරුදන් වී ඇති බවය.

කෙසේවෙතත්, පාකිස්තාන යුද ගුවන් යානා යොදාගෙන එල්ල කළ ප්‍රහාරවලින් අනතුරුව අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව මීට පෙර පාකිස්තානයෙන් ඉල්ලා තිබිණි.

පාකිස්තාන තොරතුරු අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද වීඩියෝවක දැක්වුණේ, අදාළ ගුවන් නියමුවාගේ දෑස් බැඳ තිබූ ආකාරයයි. ඔහුගේ මුහුණ මත ලේ පැල්ලම් ද දක්නට විය.

එම වීඩියෝව සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ඉන්දියාව අදාළ ක්‍රියාව පෙන්වා දුන්නේ , "තුවාල ලත් පුද්ගලයෙකු අසම්මත ලෙස ප්‍රදර්ශනය කිරීමක්" ලෙසිනි.

PAKISTAN INFORMATION MINISTRY

ඡායාරූප මූලාශ්‍රය, PAKISTAN INFORMATION MINISTRY

ඇතැම් ඉන්දීය සමාජ මාධ්‍ය පරිහරණය කරන්නන් එම ගුවන් නියමුවා වීරයෙකු ලෙස හඳුන්වා තිබේ. තවත් පිරිසක් #SayNoToWar නමැති හෑෂ්ටැගය භාවිත කරමින් ඉවසීමෙන් කටයුතු කරන ලෙස දෙරටින් ම ඉල්ලා ඇත.

Skip X post, 1
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 1

1971 වසරේ පැවති යුද්ධයෙන් පසු කාශ්මීරයේ පාකිස්තාන - ඉන්දීය පාලන සීමාව හරහා එල්ල වූ පළමු ගුවන් ප්‍රහාරය මෙය වේ.

ගුවන් නියමුවාට මොක ද වුණේ?

ඉන්දීය බලධාරීන් වාර්තා කළේ, සිය ගුවන් හමුදාවේ සේවයේ නියුතු විං කමාන්ඩර් අභිනන්දන් වර්ධමාන් නමැති ගුවන් නියමුවා අතුරුදන් වී ඇති බවය.

පසුව ඔහු පාකිස්තාන අත්අඩංගුවේ පසුවන බවට ඡායාරූප පළ විය.

එම ගුවන් නියමුවා වසර 16ක පළපුරුද්දක් සහිත දකුණු ඉන්දියාවේ චෙන්නායිහි පදිංචි අයෙකු බව අනාවරණය වී තිබේ.

AFP

ඡායාරූප මූලාශ්‍රය, AFP

පාකිස්තාන තොරතුරු අමාත්‍යංශය විසින් ඉන්දීය ගුවන් නියමුවා යැයි දැක්වෙන වීඩියෝවක් නිකුත් කරනු ලැබුවද පසුව එය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබිණි.

පසුව නිකුත් කළ වීඩියෝවක දැක්වුණේ, අදාළ ගුවන් නියමුවාගේ දෑස් බැඳ තිබූ රෙදිකඩ ඉවත් කර, ඔහු පිරිසුදු කර තිබූ ආකාරයයි. ඔහු යමක් පානය කරමින් සිටින ආකාරය ද එම වීඩියෝවේ සඳහන් විය.

අත්අඩංගුවට පත් ගුවන් නියමුවා

ඡායාරූප මූලාශ්‍රය, ISPR

ඡායාරූප ශීර්ෂ වැකිය, අත්අඩංගුවට පත් ගුවන් නියමුවා

එහිදී ඔහු පාකිස්තාන ආරක්ෂක නිලධාරීන් ඇසූ ප්‍රශ්න ගණනාවකට පිළිතුරු දුන්නේය. නම, දරන තනතුර සහ ඔහු වෙසෙන ප්‍රදේශ සම්බන්ධයෙන් තොරතුරු සපයා තිබිණි. එහෙත්, ඔහු තමන් සහභාගි වූ ගුවන් මෙහෙයුම සම්බන්ධයෙන් තොරතුරු හෙළි කිරීම ප්‍රතික්ෂේප කරමින් පවසා තිබුණේ, "මට ඒක ඔබට කියන්න බැහැ" යනුවෙනි.

මේ අතර, පාකිස්තාන ආරක්ෂක ප්‍රකාශක මේජර් ජෙනරල් අසිෆ් ඝෆූර් පැවසුවේ, ගුවන් නියමුවාට "හමුදා ආචාර ධර්මවලට අනුකූලව සැලකූ" බවය.

වසීම් අක්‍රම්

මේ අතර, පාකිස්තානය සහ ඉන්දියාව අතර මතු වී ඇති උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් මගින් අදහස් දක්වා ඇති පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායක වසීම් අක්‍රම් පවසා ඇත්තේ, "ඉන්දියාව සහ පාකිස්තානය සතුරන් නොවන අතර දෙරට අත්වැල් බැඳගෙන ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කළ යුතු" බවය.

Skip X post, 2
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post, 2

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් එරට ක්‍රිකට් නායකයා ලෙස කටයුතු කරන සමයේ වසීම් අක්‍රම් උප නායකයා ලෙස ක්‍රියා කළේය.