ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අලුත්ම චෝදනා

ඡායාරූප මූලාශ්‍රය, NEWS.LK
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රහස්පතින්දා (පෙබරවාරි 21) පාර්ලිමේන්තුව අමතමින් වත්මන් පාලනයට චෝදනා රැසක් එල්ල කළේය. එම චෝදනා සංක්ෂිප්තව මෙසේය:
- යහපාලන සංකල්පයට අදාළ කරුණු ඇතුළත් කර සකස් කරනු ලැබූ ජනවාරි අට මැතිවරණ ප්‍රකාශයට අනුව කටයුතු කර නොමැත.
- මැතිවරණ පොරොන්දු ප්‍රකාරව සිදු කරන ලද 19වන ව්‍යවස්ථා සංශෝධනය නමැති "සුජාත දරුවා උපතින්ම අංග විකල දරුවෙකු" බවට පත් කර ඇත.
- "මා විසින් බිහි කරන ලද එම සුජාත දරුවා අපචාරයට ලක් කර ඇත."
- 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් "කිසියම් ම දෙයක්" ක්‍රියාත්මක වී නොමැත.
- ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් ලෙස උගතුන්, බුද්ධිමතුන් සහ වෘත්තීයවේදීන් වෙනුවට දේශපාලනඥයන් වැඩි පිරිසක් පත් කර ඇත.
පාතාල නායකයන්, අපරාධකරුවන්
- පළාත් සභා ශක්තිමත් කිරීමට හෝ නිවැරදි කිරීම සඳහා මෙතෙක් කිසිම ආණ්ඩුවක් විසින් පසු විපරමක් සිදු කරනු ලැබ නැත. (පළාත් සභාවලට වෙන්කරනු ලබන මුදලින් 85% ක් වැය වන්නේ නඩත්තුව සඳහා බවත් සංවර්ධනය සඳහා ඉතිරි වන්නේ ඉන් 15%ක් පමණක් බවත් පනාධිපතිවරයා පැවසීය. )
- පළාත් සභා විසුරුවා හැර වසර එකහමාරක් ගත වී ඇති බැවින් නිලධාරීන් දහස් ගණනක් කාර්යභාරයක් හෝ වගකීමක් නොමැතිව සිටිති.
- ස්වාධීන කොමිෂන් සභා සතු කාර්ය සීමා, ප්‍රතිපත්ති සහ මග පෙන්වීම් මොනවාදැයි පැහැදිලිව සඳහන් කර නොමැත.
- මානව හිමිකම් කොමිසම පෙනී සිටින්නේ පාතාල නායකයන්, අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මානව හිමිකම් වෙනුවෙන් ද?
- අධිකරණ විනිශ්චයකාරවරුන් ලෙස යෝජනා කළ 14 දෙනෙකුගේ නම් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර එසේ කරන්නට මුල් වූ හේතුව කුමක්දැයි මේවන තෙක් ජනාධිපතිවරයාට දැනුම් දී නොමැත.
පොලිස්පතිවරයා
- සියලු අධිකරණයන් හි විනිසුරුවරුන් සහ විනිසුරුවරියන් අපේක්ෂා භංගත්වයට පත් වී ඇත.
- අධිකරණය, පොලිසිය, රාජ්‍ය සේවය සහ සමාජය මෙන්ම ව්‍යවස්ථා සභාව ද දේශපාලනීකරණය වී ඇතැයි යන චෝදනාව අද සමාජගත වී ඇත.
- "වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමිද ඒ කතාව?"
- විනිසුරුවරුන් පත් කිරීමේ ක්රියාදාමයේ සාධාරණ සහ විනිවිද භාවයක් නොමැති බවට ජනතාව අතර චෝදනාවක් පවතී.
- නීතිපතිවරයා සහ පොලිස්පතිවරයා පත් කිරීමේදී අනුගමනය කළ ක්‍රියාදාමය සදාචාර සම්පන්න නොවේ. ("ඒ තනතුරුවලට පත් වූ පුද්ගලයන් පිළිබඳව අද රටේම ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම පොලිස්පතිවරයා සම්බන්ධයෙන්.")
"දේශපාලන හස්තයක්"
- ව්‍යවස්ථාදායකය, අධිකරණය සහ විධායකය යන තුන්කට්ටුව ම ව්‍යවස්ථාදායක සභාව මගින් පාලනය වන තත්වයක් උදා වී ඇත.
- විනිශ්චයකාරවරුන් යෝජනා කිරීමේ දී ඒවා ප්‍රතික්ෂේප කිරීම සඳහා ව්‍යවස්ථා සභාව ප්‍රේෂණය කරගෙන ඇත්තේ කුමන බලයක් ද?
- එවැනි බලයක් ආරෝපණය කර ගැනීමෙන් පෙනී යන්නේ ව්‍යවස්ථා මණ්ඩලය අත්තනෝමතික ලෙස කටයුතු කරන බව නොවේද? අධිකරණයේ ස්වාධීනත්වයට හානිදායක අන්දමින් ක්‍රියා කරන බව නොවේද?
- ව්‍යවස්ථා සභාව දේශපාලන හස්තයක් මගින් හසුරුවන බව පෙනී යයි.
- මා විසින් යෝජනා කරනු ලැබූ විනිසුරුවරුන් පිළිබඳව අගවිනිසුරුවරයා දරන මතය කුමක්දැයි ව්‍යවස්ථා සභාව මා වෙත එවා ඇති වාර්තාවේ කිසිදු සඳහනක් කර නොමැත.
- ව්‍යවස්ථා සභාව අද වන තුරු තම ක්‍රියා පටිපාටිය, නීති රීති සහ ප්‍රතිපත්ති සකස් කර, ගැසට් පත්‍රයේ පළ කර, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගෙන නොමැත.




