ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: රනිල් වික්‍රමසිංහ පස් වන වරටත් අගමැති ධුරයේ දිවුරුම් දෙයි

ඡායාරූප මූලාශ්‍රය, Www.news.lk
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පස් වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉරිදා (දෙසැම්බර් 16) පෙරවරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඉදිරියේ ඔහු දිවුරුම් දුන්නේ, පෙරවරු 11.16ට යෙදී තිබූ සුබ වේලාවේදීය.
මෙම දිවුරුම් දීමේ අවස්ථාව වාර්තා කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමි නොවූ අතර එක්සත් ජාතික පක්ෂයේ කිහිප දෙනෙකු පමණක් සහභාගි වූ බව වාර්තා විය.
රනිල් වික්‍රමසිංහ මීට පෙර 1993 සිට 1994 දක්වා 2001 සිට 2004 දක්වා 2015 ජනවාරි 08 සිට අගෝස්තු 15 දක්වා සහ 2015 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වා ද අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.
ඉරිදා දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ දස වන අග්‍රාමාත්‍යවරයා වන්නේ ය.
රනිල්ගේ දිවුරුම් දීම මාධ්‍යයට තහනම් කරයි
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ පස් වන වරටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉරිදා පෙරවරුවේ දිවුරුම් දුන් අවස්ථාව ආවරණය කිරීම මාධ්‍ය ආයතනවලට තහනම් කර තිබිණි.
ඒ අනුව, එම දිවුරුම් දීම සිදු කෙරුණේ, එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙනි.
දිවුරුම් දීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආධාරකරුවන් අමතමින් එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් පූර්ණ වශයෙන් ජයගෙන නොමැති බවය.
"අගමැති දිවුරුම් දීමේ අවස්ථාව මාධ්‍යවලට ආවරණය කිරීමට ඉඩ ලබා දුන්නේ නැහැ. මේකෙන් තේරෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවමත් හරියට ජයග්‍රහණය කරල නෑ කියලා. ඒ වෙනුවෙන් අප එක්විය යුතුයි" අකිල විරාජ් කාරියවසම් එහිදී පැවසීය.
රනිල් වික්‍රමසිංහ දිවුරුම් දුන් අවස්ථාව
මෙහි අන්තර්ගතය නැත
වැඩිදුරටත් Facebook බලන්නබාහිර වෙබ් අඩවිවල අන්තර්ගතයට බීබීසී වගකියනු නොලැබේ.End of Facebook post
අර්බුදය නිර්මාණය වූ හැටි
දින 50 ක පමණ කාලයක් පුරා දිව ගිය ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය නිර්මාණය වූයේ පසුගිය ඔක්තෝබර් 26 වන දින ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කිරීමත් සමගය.
එදින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහ කරමින්, මහින්ද රාජපක්ෂ අගමැති පදවියට පත්කිරීමට ජනාධිපති මෛත්රීපාල සිරිසේන ගත් ක්‍රියාමාර්ගයත් සමග ශ්‍රී ලංකාව තුළ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මාණය විය.

ඡායාරූප මූලාශ්‍රය, PMD
තවදුරටත් රටේ නීත්‍යනුකූල අගමැතිවරයා තමන් බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කිරීම සහ මහින්ද රාජපක්ෂ පාර්ශවයට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකිවීමත් සමග ජනාධිපති මෛත්රීපාල සිරිසේන පසුගිය නොවැම්බර් 09 වන සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
ඉන් අනතුරුව එය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් නොවැම්බර් 12 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික හිමිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.
ඒ අනුව, පසුගිය නොවැම්බර් 09 වනදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේය.
එමෙන් ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති වරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් විය.
තවත් කියවන්න.








