ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: මනූෂ නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් වෙයි

මනුෂ නානායක්කාර

ශ්‍රී ලංකා දේශපාලනය තුළ මතුව ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලිය සැලකිල්ලට ගෙන තමන් සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.

පසුගියදා කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් ඔහු රනිල් වික්‍රමසිංහ හමු වී අදහස් පළ කර ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත මුදා හැර ඇත.

"ඇති වුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී සහ යහපාලන මූලධර්මවලට පටහැනිව සිදු වූ පත්වීම් සහ ආණ්ඩු පෙරළිය පිළිබඳ මගේ හිතට එකඟව මේ සඳහා එකතු වෙන්න මට පුළුවන් කමක් නැහැ,"

"ඒ නිසා මම තීන්දු කළා මට මේ වෙලාවේ දුන්න නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙනුත් ඉල්ලා අස්වෙලා ඒ වගේ ම මේ වෙලාවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන ජනතාවගේ ඉල්ලීම වෙලා තිබෙන, ඒ වගේ ම බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම වෙලා තිබෙන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න, ඒ වගේ ම ජාත්‍යන්තරය ලංකාවේ මේ දේශපාලන වෙනස්වීම පිළිගෙන නැහැ. ඒ වගේ ම කතානායකතුමත් බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මතයට අහුම්කන් දීලා පැරණි පාලන ක්‍රමය ම පැවතිය යුතුයි කියලා එතුමා තීරණය කර තිබෙනවා," යනුවෙන් මනූෂ නානායක්කාර නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ඉහත කී කරුණු සැලකිල්ලට ගෙන සිය හෘදසාක්ෂියට එකඟව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැපවූ පුද්ගලයෙකු වශයෙන් තමන් සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා තමන් සටන් කිරීමට බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර ඇත.

කෙසේ නමුත් සඳුදා (නොවැ 05) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැළිය අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ පාර්ලිමේන්තුව තුළ 113 ක් වන බහුතරය සිය පාර්ශ්වය සතු බවය.