ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව සුදුසු ඇඳුමකින් සැරසී සිටින ලෙස සඳහන් දැන්වීම මතභේදයට

ඡායාරූප මූලාශ්‍රය, Facebook
වෙරළේ ඇඟලිය යුතු ඇඳුම් සම්බන්ධයෙන් හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් ස්ථාපනය කරන ලද දැන්වීම් පුවරුව වහා ඉවත් කරන ලෙස පොලිසිය වෙත දන්වා ඇතැයි රාජ්‍ය පරිපාලන, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසයි.
"මීට සුළු වෙලාවකට පෙර මටත් ඒ බව දැනගන්න ලැබුනේ. වහාම එය ඉවත් කරන්න කියලා මම දැන්වුවා," යනුවෙන් ඇමතිවරයා බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය.
"ශ්‍රී ලංකාවේ සංස්කෘතියට අනුව සුදුසු ඇඳුමකින් සැරසී සිටින ලෙස" හබරාදූව ප්‍රජා පොලිස් ඒකකය විසින් ස්ථාපනය කරන ලද දැන්වීම් පුවරුවක සඳහන් වේ.
නාන ඇඳුමකින් සැරසී සිටින විදේශීය කාන්තාවකගේ ඡායාරූපයක් දැන්වීම් පුවරුවේ දැක්වෙන අතර එවැනි ඇඳුම් ඇඟලීම "නුසුදුසු" බව දැක්වීම සඳහා ඒ මත කතිර ලකුණක් යොදා ඇත.
අදාළ පුවරුව දැක්වෙන ඡායාරූප ෆේස්බුක් ඇතුළු සමාජ ජාල තුළ විශාල වශයෙන් පළ වී තිබෙන අතර වැඩි වශයෙන් අදහස් පළවී ඇත්තේ එකී පියවර විවේචනයට ලක් කරමිනි.
ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල පවතින දැඩි නීති සහ හබරාදූව ප්‍රජා පොලිස් ඒකකයේ ක්‍රියාපිළිවෙත සමාන කරමින් ඇතැමුන් සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබිණි.
ෆේස්බුක් සමාජ ජාලයේ පළ වී තිබුණු එක් පෝස්ටුවක සඳහන් වී තිබුනේ "සිතියමෙන් දුර වුනාට සෞදි අරාබියට අපි ගොඩාක් ළඟයි" යනුවෙනි.
"වවුලගෙ ගෙදර ආවනම් එල්ලිල හිටු! - ආගමික පොලිසිය, සිලෝන්" යනුවෙන් අදාළ දැන්වීම් පුවරුවේ ඡායාරූපය පළ කළ තවත් අයෙකු සඳහන් කර තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
තවත් තරුණියක් විසින් එකී ක්‍රියාව විග්‍රහ කර තිබුනේ "පීතෘමුලික පශ්තාත් වික්ටෝරියානු ලිංගික ඉරිසියාව" ලෙසය.

ඡායාරූප මූලාශ්‍රය, Facebook
ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හබරාදූව ප්‍රජා පොලිස් ඒකකයේ විසින් ස්ථාපනය කරන ලද දන්වීම් පුවරුව සිය අවධානයට ලක්ව ඇති බව සඳහන් කරයි.
"ශ්‍රී ලංකාවේ දර්ශනීය වෙරළ භුක්ති විඳින සංචාරකයන්ට 'ඇඳුම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන පොලිසියක්' අනවශ්‍ය" බවත් සිය ආයතනය ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කර ඇති බවත් එම ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් දැක්වේ.
එබැවින් ඒ සම්බන්ධ ඉක්මන් ප්‍රගතියක් බලාපොරොත්තුවන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මේ අතර ඉහත කී දැන්වීම් පුවරුව මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීගේ අවධානයට ලක්ව ඇති බවත් ඔහු ඒ පිළිබඳ රාජ්‍ය පරිපාලන, නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර දැනුවත් කර ඇති බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන පවසා තිබිණි.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාරගේ ප්‍රතිචාරය වූයේ "බීච් එකට එන සංචාරකයන් කෙටි ඇඳුමක් අඳිනවා විනා වෙන මොනවා අඳින්නද?" යන්නය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ කාන්තා ඇඳුම් සම්බන්ධයෙන් නීති පැනවීමේ පුවත් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවේ.

මව්වරුන් පාසල්වලට ඇතුල් වීමේදී සැරසී සිටිය යුතු ඇඳුම් නිර්දේශ කරමින් 2016 වසරේදී කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය ඉදිරිපස අලවා තිබුණු පෝස්ටරයක් එවක සමාජ මාධ්‍ය ජාලය තුළ විශාල වශයෙන් විවාදයට ලක්විය.
පාසලට ඇතුළුවන කාන්තාවන් ඇඳිය යුතු සහ ඇඳීමට සුදුසු නොවන ඇඳුම් මෝස්තර පිළිබඳ සටහනක් එම පෝස්ටරයේ දැක්විණි.
පාසල්වලට ඇතුළුවන කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධයෙන් පනවා තිබෙන සියලුම නීති ඉවත් කරන මෙන් සියලුම පාසල්වලට නියෝග කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පසුව පියවර ගෙන තිබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Harsha de Silva
එමෙන්ම 2018 වසරේ ජනවාරි මාසයේදී කාන්තාවන්ගේ තරබාරුභාවය 'බැරලයකට' සමාන කරමින් කායික පුහුණු ආයතනයක් (Gym) විසින් අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරන ලද දැන්වීම් පුවරුවක් ඉවත් කර ගැනීමට සිදු වුයේ ට්විටර් ඇතුළු සමාජ ජාල තුළ ඒ සම්බන්ධයෙන් විශාල විරෝධයක් පළවීමත් සමගය.
OSMO ෆිට්නස් නමැති ආයතනය විසින් ප්‍රදර්ශනය කරන ලද එම ප්‍රචාරක දැන්වීම් පුවරුව තුළ බැරලයක් දැක්වෙන අතර එහි සඳහන් කර තිබුණේ "මෙය කාන්තාවකට සුදුසු හැඩයක් නොවේ" යනුවෙනි.








