සමුද්‍රයේ නීති විරෝධී කටයුතු නිරීක්‍ෂණයට බ්‍රිතාන්‍යයෙන් රේඩාර් චන්ද්‍රිකාවක්

සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යයට අයත් මුල්ම රේඩාර් චන්ද්‍රිකාව ඉන්දීය අභ්‍යාවකාශ යානයක ආධාරයෙන් කක්‍ෂගත කරනු ලැබිණ.

NovaSAR යනුවෙන් හඳුන්වන එම චන්ද්‍රිකාවට ඕනෑම කාලගුණ තත්ත්වයක් තුළ මෙන්ම දිවා රාත්‍රී වෙනසකින් තොරව පෘථිවිය මතුපිට ඡායාරුප ගැනීමේ හැකියාව තිබේ.

මෙම යානාව මගින් බහු කාර්යයන් සිදු කරනු ඇතැයි අපේක්ෂා කරන අතර, විශේෂයෙන්ම සැක කටයුතු නාවුක කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා එය උපකාරී කරගැනීම එහි සැලසුම් කරුවන්ගේ මූලික අභිප්‍රාය වී තිබේ.

සාමාන්‍ය ආලෝක තත්ත්වයකදී ඉහළ තත්ත්වයේ දර්ශන ලබා ගන්නා චන්ද්‍රිකාවකට, එහි රොකට්ටුව මගින් NovaSAR සම්බන්ධ කර තිබේ.

S1-4 යනුවෙන් හඳුන්වන මෙම අභ්‍යවකාශ යානයට පෘථිවිය මත ඇති සෙන්ටි මීටර් 87 ක් තරමේ කුඩා වස්තුවක් වුවද පැහැදිළිව දැකීමේ හැකියාවෙන් යුක්තය. මෙම S1-4 සහ NovaSAR නිෂ්පාදනය කරන ලද්දේ මහා බ්‍රිතාන්‍යයේ ගිල්ෆඩ්හි (Guildford) පිහිටා ඇති සරේ අභ්‍යාවකාශ තාක්ෂණ සමාගම (Surrey Satellite Technology Limited) මගිනි.

එක්සත් රාජධානියේ ඉංජිනේරුවරු අභ්‍යවකාශ රේඩාර් සම්බන්ධයෙන් ප්‍රවීණතා ඇති අය වුවද, ඔවුන්ගේ තාක්‍ෂණය සැමවිටම යොමුවූයේ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය වැනි ආයතන සඳහා ලබාදුන් පුළුල් මෙහෙයුම් වෙතය.

කෙසේ නමුත්, චීස් සිහින් ලෙස වෙන්කර ගන්නා හිල් සහිත උපකරණයේ හැඩය ගත් NovaSAR අනන්‍ය ලෙස බ්‍රිතාන්‍ය නිමැවුමක් වේ.

තෙල් විසිරියාම්, ගංවතුර සහ වනාන්තර නිරීක්ෂණය, ව්‍යසන ප්‍රතිචාර දැක්වීම් සහ පලදාව තක්සේරු කිරීම වැනි බහු කාර්ය සඳහා මෙය ක්‍රියාත්මක වේ.

කෙසේ නමුත්, එමගින් සිදුවන ආකර්ශනීයම කටයුත්ත සමුද්‍රය නිරීක්‍ෂණය කිරීම වනු ඇත.

අභ්‍යවකාශය හා සබැඳි පුවත්:

ගුවන්විදුලි සංඥා ස්වයංක්‍රිය ලෙස හඳුනා ගැනීමේ පද්ධති ග්‍රහණය කරගත හැකි උපකරණයක් මෙම චන්ද්‍රිකාවේ සවි කර තිබේ. අන්තර්ජාතික නීතියට අනුව විශාල නෞකා තම ගමන්වාරය අතර තුර මෙම ස්ථානීය විකාශන කළයුතුව තිබේ.

මෙම පණිවුඩ අක්‍රීය හෝ අඩපන කරන යාත්‍රා බොහෝ විට ජාවාරම්වල හෝ නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවේ. එවැනි යාත්‍රාවක් NovaSAR මගින් ලබාදෙන ඡායාරූපවල දිස්වන්නේ නම් ඒ බව අදාල ආයතනවලට දැනුම් දෙනු ඇත.

"අපි මේ සමුද්‍ර පහසුකමට හරි කැමතියි, එමගින් කිලෝමීටර් 400 ට වඩා ප්‍රදේශයක් එකවර ග්‍රහණය කරගන්නවා," සරේ අභ්‍යාවකාශ තාක්ෂණ සීමිත සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරි ලුවිස් ගෝමස් පැවසීය.

"සාගරයේ පුළුල් පරාසයක් නිරීක්‍ෂණය කිරීම වැදගත්, අපි එය මේතාක් සිදු කළේ නැහැ. විශාල ප්‍රදේශයක් නිරීක්ෂණය කිරීමේ අපහසු බව, මැලේසියානු ගුවන් යානය ඉන්දියානු සාගරයට වැටුණු අවස්ථාවේ අපි අත්දුටුවා. එවැනි දෙයකට රේඩාර් සහ NovaSAR යොදාගන්න හැකියාව තිබෙනවා," ඔහු බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසීය.

සරේ අභ්‍යාවකාශ තාක්ෂණ සීමිත සමාගම NovaSAR ව්‍යාපෘතිය ආරම්භ කළේ 2008 - 2009 වසර වලදීය.