ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
"කිලෝ ග්‍රෑම් දහයකට වඩා" ඉන්දීය සායනික අපද්‍රව්‍ය පුත්තලම ආශ්‍රිත වෙරළේ
පෘථිවි ගෝලයෙන් 70% ට වඩා ආවරණය වී ඇති සාගරය දූෂණය වීම සම්බන්ධයෙන් ලොව පුරා රටවල් සහ අන්තර්ජාතික සංවිධාන අවධානය යොමුකර තිබෙන නමුත් දිනෙන් දිනම සාගර ජලය දූෂණය වීම පිළිබඳ තොරතුරු ද වාර්තා වේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ පුත්තලම ආශ්‍රිත වෙරළ කලාපයට 'දේශීය නොවන කසල' ගොඩගසා ඇති බව පසුගිය දින කීපය තුළදී මාධ්‍ය වාර්තාවල දැක්විණ.
අඟහරුවාදා වනවිට (අගෝස්තු 14) පුත්තලම ආශ්‍රිත වෙරළේ තිබී කිලෝ ග්‍රෑම් 10 ක පමණ 'සායනික අපද්‍රව්‍ය' රැස්කර ගැනීමට හැකිවූ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල සේවය වෙත පැවසීය.
ඒ අතර දේශීය නොවන එන්නත් උපකරණ, ඖෂධ බෝතල් ඇති බව ඔහු තහවුරු කළේය.
මේ වතාවේ ප්‍රබල මාධ්‍ය අවධානයක් හිමිවුව ද මෙය කලින් කලට ශ්‍රී ලංකාව වටා ඇති වෙරළ තීරයේ දක්නට ලැබෙන තත්ත්වයක් බව ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල සේවය සමග කළ විශේෂ සාකච්ඡාවකදී පැවසීය.
ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් බාලි දූපත් අවට සාගරය ද දුෂණය වී ඇති ආකාරය පසුගියදා අනාවරණය කෙරිණ.
"මීට කලින් විදෙස් රටවලින් පාවී ආ කසල නිරීක්ෂණය කර තිබුණා. විශේෂයෙන් ම නැගෙනහිර ප්‍රදේශයේ මඩකලපුව, අම්පාර, කිරින්ද වගේ ප්‍රදේශවල සොයා ගත් අපද්‍රව්‍ය මියන්මාරය, ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව සහ බංගලාදේශය වැනි රටවලින් පැමිණි බව සොයාගෙන තිබෙනවා."
බටහිර වෙරළේ පසුගිය දිනවලදී හමුවූ කසලවල ඇති ලේබල අනුව ඒවා ඉන්දියාවේ කේරල ප්‍රදේශයෙන් පැමිණි බව පෙනෙන්නට තිබෙන අතර තලේමන්නාරම සිට පුනරීන් දක්වා ප්‍රදේශවල හමුවන කසල තමිල්නාඩුවෙන් බැහැර කර ඇති බවට සාධක හමුවී තිබෙන බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.
එමෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් ගංගානම් නදිය දූෂණය වී ඇති ආකාරය ද මේ වසර මුලදී වාර්තා විය.
"සාගර තරංගවල ක්‍රියාකාරීත්වය නිසා මෙය කාලාන්තරයක් තිස්සේ සිදුවන ක්‍රියාවලියක්. අතීතයේදී මෙවැනි තත්ත්වයන් නිසා අපට ලැබුණේ ශාක බීජ වැනිදේ."
ඒ අනුව ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ද වෙනත් රටවල වෙරළ තීරයන්ට පාවී යාමේ හැකියාව ඇතත් මේ දක්වා එවැන්නක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී නොමැති බව ද ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි.
සමස්ථයක් ලෙස ගත් විට වෙරළ කලාපයේ තිබෙන අපද්‍රව්‍යවලින් 80% ක් පමණ අදාල රටේ බැහැරලන අපද්‍රව්‍ය බව පවසන සාමාන්‍යාධිකාරීවරයා ඉන්දියාවේ මෑතක ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමග මුහුදට එක්වූ අපද්‍රව්‍ය දියවැල් මාර්ගයෙන් බස්නාහිර මුහුදු වෙරළට ගසාගෙන විත් තිබෙන බව පවසයි.
"ඒ නිසා මේ අවස්ථාවේ එහි තිබෙන කසල වලින් 60% - 70% ක් පමණ කසල ඉන්දියාවෙන් පැමිණි ඒවා."
දැනටත් වෙරළ කලාපය පිරිසිදු කිරීමේ කටයුතු සිදුවන නමුත් පවතින කාලගුණික තත්ත්වය අනුව ඉදිරි දිනවලදීත් මෙලෙස කසල පාවී ඒමේ හැකියාවක් ඇත. එබැවින් එන්නත් උපකරණ වැනි ද්‍රව්‍ය තවදුරටත් ගසාගෙන ඒමේ හැකියාව තිබෙන බැවින් මෙම කලාපයේ වෙරළ භාවිතය අනතුරුදායක විය හැකි බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
"මේ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් විසඳුම් සොයන්නේ කෙසේදැයි අප විමසා බලමින් සිටිනවා. ඊට අමතරව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ලිඛිත දැනුම් දීමක් කර තිබෙනවා."
එක්සත් ජාතීන්ගේ 'පිවිතුරු සයුරු' වැඩසටහනට ශ්‍රී ලංකාව අයත්වන බැවින් ඔවුන්ගේ තාක්ෂණික සහාය ශ්‍රී ලංකාවට ලැබෙන බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
ඊට අමතරව සාක් කලාපීය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සම්මුතීන් මගින් ඇතිකරගත් එකඟතා අනුව ඒ ඒ රාජ්‍ය සහයෝගයෙන් කටයුතු කරන්නේ නම් මේ තත්ත්වය ඉදිරියේදී අවම වනු ඇතැයි අධිකාරිය විශ්වාසය පළ කරයි.
මුහුදට කසල බැහැර කිරීම සම්බන්ධයෙන් පවතින දැඩි නීති හේතුවෙන් නෞකා මගින් කෙරෙන කසල බැහැර කිරීම් බොහෝ දුරට අඩුවී ඇති බව පවසන සාමාන්‍යාධිකාරිවරයා නීති විරෝධී ලෙස එසේ කරන ආයතන පැවතිය හැකි බවත් එමගින් දූපතක් ලෙස ශ්‍රී ලංකාවට බලපෑමක් විය හැකි බව ද ප්‍රකාශ කළේය.
"නමුත් වෙරළ සහ සාගරය දූෂණය වීමට බලපාන්නෙ ගොඩබිම දූෂණය. අපහරණය ක්‍රමවත් නොවීම හේතුවෙන් ජල මාර්ගවලට එක්වන අපද්‍රව්‍ය මගින් ශ්‍රී ලංකාව අවට සාගරය දූෂණය වෙනවා," ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පවසයි.
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වයඹ පළාත් පරිසර අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂ සමන් ලේනදූව ඇමතූ අවස්ථාවේ ඔහු කියා සිටියේ සිය ආයතනය රට අභ්‍යන්තරයෙන් ඇළකට හෝ ගංගාවකට අපද්‍රව්‍ය බැහැර කර ඇත්දැයි යන්න පිළිබඳ පරීක්ෂණ කරන අතර එසේ කර ඇත්නම් ඒ සම්බන්ධ දැඩි නීතිමය පියවර ගැනීමට බලාපොරොත්තුවන බවය.
"මේ සෑම දෙයක්ම සිදුවන්නේ මිනිසාගේ ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා ඒක පුද්ගල ප්ලාස්ටික් පරිභෝජනය අවම කිරීම හෝ පරිභෝජනය කළ ප්ලාස්ටික් නිසි ලෙස ප්‍රතිචක්‍රීය කරණය කිරීමෙන් හෝ අපහරණය කිරීමෙන් තොරව මේ ගැටලුවට විසඳුම් සෙවිය නොහැකියි," සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළේය.
මෙය පුරවැසියන් ලෙස සියලු දෙනාගේ වගකීමක් බව ඔහු අවධාරණය කළේය.