වැලිකඩ ඝාතන: උණ්ඩ වලට අදාල රස පරීක්ෂක වාර්තාව 'කඩිනමින් ලබාදෙන්න'

2012 නොවැම්බර් මාසයේ වැලිකඩ බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුමේදී මියගිය සිරකරුවන්ගේ මලසිරුරු අසල තිබූ උණ්ඩ වලට අදාල රස පරීක්ෂක වාර්තාව කඩිනමින් ඉදිරිපත් කරන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රජයේ රස පරීක්ෂකවරයාට නියම කළේය.

එම ගැටුමේදී සිරකරුවන් 27 දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබූහ.

අධිකරණය මෙම නියෝගය කරනු ලැබුවේ වැලිකඩ සිරකරු ඝාතනයට අදාළ පැමිණිල්ල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.

ගැටුම අවස්ථාවේ දී මියගොස් සිටි සිරකරුවන් අසල තිබී සොයාගත් වෙඩි උණ්ඩ වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති නමුත්, වාර්තා ලබා ගැනීමට තවත් කලක් ගත විය හැකි බව රජයේ රස පරීක්ෂකවරයා විසින් දැනුම් දී ඇතැයි රහස් පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසිය.

එබැවින් පරීක්ෂණ කඩිනමින් මෙහෙයවීම සඳහා අදාළ වාර්තා ලබා දෙනමෙන් රජයේ රස පරීක්ෂක වරයාට නියෝග කරන මෙන් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම පරීක්ෂණයේ දී අනාවරණය වූ පුද්ගලයින් 12 දෙනෙකුගේ දුරකථන ඇමතුම් පිළිබඳ විස්තර ලබාගැනිම සඳහා අවසර ලබාදෙන මෙන් ද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රහස් පොලිසිය කළ එම ඉල්ලීම්වලට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ලබන 03 වෙනි දින ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියම කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් වරයෙකු වන එමිල් රන්ජන් ළමාහේවා එදින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.