ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මැද පෙරදිග පැටවීමේ "ජාවාරමක්" සහ ඝාතනය කිරීමේ "කුමන්ත්‍රණයක්"
නීති විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ අලි පැටවුන් අල්ලා ඔවුන් මැද පෙරදිග වැනි රටවල ධනවතුන්ට විකිණීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන්නේ දැයි ප්‍රබල සැකයක් මතු වී ඇති බව ශ්‍රී ලංකා ආණ්ඩුව පවසයි.
එමෙන්ම පසුගිය සති කිහිපය තුළ දළ ඇතුන් ගණනාවක් මරා දමනු ලැබුවේ නීති විරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගෙන සිටීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන පුද්ගලයන් දැයි සැකයක් මතු වී තිබෙන බව තිරසර සංවර්ධන හා වනජීවි සහ බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පවසයි.
අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා ඒ බව සඳහන් කළේ ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතුළු ඇතුන් සිව් දෙනෙකු පසුගිය සති කිහිපය තුළ ඝාතනයට ලක්වීම ඇතුළු කරුණු පිළිබඳව බීබීසී සිංහල සේවය සමග දීර්ඝ සාකච්ඡාවකට එක්වෙමිනි.
"කවදාවත් මෙහෙම වෙලා නෑ මේ රටේ, මේ කුරුණෑගල අවට. මේක සූක්ෂම කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ද කියල දැන් රහස් පොලිසිය පරීක්ෂණ කරනවා," අමාත්‍යවරයා කියා සිටියේය.
දළ පූට්ටුවා ඇතුළු ඇතුන් දෙදෙනෙකුට වෙඩි තබා මරා දමා තිබූ අතර, තවත් ඇතෙකුට වස දී මරා දමා තිබුණි.
"මේ එක පිට එකක් කළේ -මම මේක කැබිනට් මණ්ඩලේත් ප්‍රකාශ කළා - නඩු තිබෙන අය ඉන්නවා නීතිවිරෝධී අලි තබාගැනීම ගැන. ඒ අතර මතයක් ඇතිකරන්න උත්සාහ කරනවා, කැලේ ඉන්න සත්තු මේ වගේ මැරෙනවා, ඒ නිසා මේ විදියට තියාගත්තම සත්තු ආරක්ෂා වෙනවා කියල."
එවැනි "කුමන්ත්‍රණයක්" තිබුණ ද නීති විරෝධී අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ඉතා මන්දගාමී බවට එල්ලවන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ වනජීවී අමාත්‍යවරයා කියා සිටියේ එම පරීක්ෂණ සහ නඩු විභාග කඩිනම් කිරීමට කටයුතු කරන බවට අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල භාරගත් බවය.
අධිකරණ ක්‍රියාදාමය අවසාන වන තුරු එසේ අත්අඩංගුවට ගෙන තිබෙන අලි 42 දෙදෙනෙකු රැක බලාගැනීම සිය අමාත්‍යංශයට "ලොකු බරක්" වී තිබෙන බවත් ඔහු පැවසීය.
"අලි 42 දෙදෙනෙක්ට අපි වගකියන්න ඕන. ආරක්ෂා කරන්න ඕන. ඒ නිසා මම කිව්වා මේකේ තීන්දුවක් ඉක්මනින් ඕන කියල. අධිකරණ ඇමතිතුමිය ඒක භාරගත්ත."
ඉන්ටර්පෝල් පොලිසිය
එපමණක් නොව, නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා බෝට්ටුවලින් මැද පෙරදිග වැනි රටවලට පැටවීමේ උත්සාහයක් පිළිබඳව බරපතළ සැකයක් මතු වී තිබෙන බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා සඳහන් කළේය.
ගතව ගිය මාස කිහිපය තුළ උඩවලවේ වන රක්ෂිතයේ, හම්බන්තොට ගෝනගල්ආර ප්‍රදේශයේදී, අඹේගමුව ප්‍රදේශයේදී සහ කතරගමදී එසේ නීති විරෝධී ලෙසින් අල්ලාගත් අලි පැටවුන් හමු වූ බව පෙන්වාදෙන අමාත්‍යවරයා, එම පැටවුන් විදේශවලට විකිණීමේ ජාවාරාමක් පිළිබඳව පවතින සැකය ද විස්තර කළේය.
"අපට ආරංචියක් තියෙනව පසුගිය රජය වෙලාවෙත් මේ වගේ බෝට්ටුවලින් හම්බන්තොට දිහාවෙන් අලි පැටවු දෙන්නෙක් වගේ ගෙනියල තියෙනව කියල කතාවක්. ඒකට මට සාක්කි නෑ. එතකොට බේරුවලින් ගෙනිහින් තියෙනවා. මේ පැටවෙක් ඩොලර් ලක්ෂ පහකට වගේ මුදලකට දෙන්න පුළුවන්."
නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක ද තමන් එල්ල කරන චෝදනාව සනාථ කළ බව පවසන වනජීවී කටයුතු භාර අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ මූලික පොලිස් විමර්ශනවලින් අනතුරුව ඒ පිළිබඳව ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියට දැනුම්දීමට බලාපොරොත්තු වන බවය.
දළ පූට්ටුවා ඝාතනය සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීන පරීක්ෂණයක් පවත්වමින් සිටින බව පවසන අමාත්‍යවරයා, එහිදී තවත් පිරිසක් අත්අඩංගුවට පත්වීමට නියමිත බව ද සඳහන් කළේය.
"තරාතිරම් බලන්නේ නෑ, දේශපාලකයෝ කියල බලන්නේ නෑ, පූජ්‍ය පක්ෂය කියල බලන්නේ නෑ ආයෙත් නොකරන්න නීතිය ක්‍රියාත්මක කරාවි."
පරීක්ෂණ සඳහා අවශ්‍යව සිටින ප්‍රදේශයේ බෞද්ධ හිමි නමක් අතුරුදහන්ව සිටින බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳව විමසු අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ, පොලිස් පරීක්ෂණ පැවැත්වෙන බැවින් ඒ පිළිබඳව මේ මොහොතේ කිසිවක් පැවසිය නොහැකි බවය.
ඒකාබද්ධ වැටලීම් ඇතුළු ජාතික සැලසුමක්
සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකාව පුරා වෙසෙන වන සතුන් සහ වන සම්පත ආරක්ෂා කිරීමට සිය අමාත්‍යංශයට හැකියාවක් නොමැති බැවින් ඒ සම්බන්ධ විශේෂ වැඩපිළිවෙලක් පිළිබඳව අඟහරුවාදා (දෙසැම්බර් 12) කැබිනට් මණ්ඩලය දැනුවත් කරන ලද බවත් අමාත්‍යවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.
ඒ අනුව විවිධ ප්‍රදේශවල රඳවා සිටින ආරක්ෂක හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අදාළ අමාත්‍යාංශවල නිලධාරීන් නිසි සම්බන්ධීකරණයකින් ඒකාබද්ධ වැටලීම්, ක්‍රියාත්මක කිරීම ඇතුළු ජාතික සැලසුමක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම ඒකාබද්ධ වැඩපිළිවෙල මාසයක කාලයක් ඇතුළත ක්‍රියාවට නැගීම සිය බලාපොරොත්තුව බව ද අමාත්‍යවරයා පැවසීය.
"ඒ එක්කම ජනාධිපතිතුමා ඊයේ අනුමත කළා, මහවැලි කළාපය තුළ ගම් කමිටු හදන්න. අපිට ජනතාවගේ සහභාගිත්වයත් අවශ්‍යයි."
මේ අතර අලි ඇතුන් ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව ලබා දෙන දඬුවම් ඉහල නැංවීම සඳහා වන යෝජනාවලියක් පරිසර සංවිධාන විසින් වනජීවී අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.
එම යෝජනා අතර
- රුපියල් මිලියන 10ක් දක්වා වූ වන්දියක්
- වරදකරුවන්ගේ දේපළ රාජසන්තක කිරීම
- වසර 25ක් දක්වා වූ සිර දඬුවමක්
එම නිර්දේශ සියල්ල තමන් අනුමත කරන බව වනජීවි කටයුතු භාර අමාත්‍යවරයා, සිය අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් බදාදා (දෙසැම්බර් 13) විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් සඳහන් කළේය.
"උදාහරණයක් විදියට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා යෝජනා කරලා තියෙනව මිනීමැරුම් චෝදනා ගේන්න කියල," අමාත්‍ය අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේය.