ගින්නෙන් දැවෙන අලි පැටවාගේ සේයාරුව පළමු තැනට

Two elephants, set ablaze by a mob, cross the road to flee

ඡායාරූප මූලාශ්‍රය, Biplab Hazra/Sanctuary Wildlife Photography Awards

ඡායාරූප ශීර්ෂ වැකිය, කලහකාරීන්ට බියෙන් පළා යන අලි පැටවා සහ ඇතින්න

පළා යමින් සිටින අලි දෙදෙනකුට කලහකාරී පිරිසක් ගිනි තබන ආකාරය දැක්වෙන සේයාරුවක් වනජීවී ඡායාරූප තරගයකින් පළමු ස්ථානයට තේරී පත්ව තිබේ.

(පහත දැක්වෙන ඡායාරූපය ඇතැමෙකුට සංවේදී විය හැක)

නැගෙනගිර ඉන්දියාවේ වැඩිහිටි ඇතින්නියක සහ පැටවෙකු මර බියෙන් පළා යමින් සිටින අතර පැටවා ගින්නට හසුව දැවෙන ආකාරය සිය කැමරා කාචයේ සටහන් කර ගනු ලැබුවේ බිප්ලබ් හස්රා විසිනි.

සම්මානය පිළිබඳ නිවේදනය කරමින් 'Sanctuary' නමැති සඟරාව සඳහන් කර තිබුණේ "මෙවැනි නින්දා සහගත ක්‍රියා නිතර සිදුවන" බවය.

සම්මානයට ලක් වූ ඡායාරූපය ගෙන තිබෙන්නේ අලි මිනිස් ගැටුම් බහුල වශයෙන් වාර්තා වන බටහිර බෙංගාලයේදීය.

ඡායාරූපයේ දැක්වෙන බන්කුරා දිස්ත්‍රික්කයේ සැරිසරමින් සිටි අලි දෙදෙනාට අත්වූ ඉරණම පැහැදිලි නොමැත.

වන අලින්ට මැදිවීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන් පිළිබඳ බන්කුරා දිස්ත්‍රික්කයෙන් නිතර වාර්තා වෙයි.

Two elephants, set ablaze by a mob, cross the road to flee

ඡායාරූප මූලාශ්‍රය, Biplab Hazra/Sanctuary Wildlife Photography Awards

ඡායාරූප ශීර්ෂ වැකිය, වාර්ෂිකව පැවැත්වෙන 'Sanctuary' වනජීවී ඡායාරූප ප්‍රදර්ශනයේ සම්මානයට පත් ඡායාරූප 27 අතරින් එකක්

ඉහත කී සිදුවීම අලි මිනිස් ගැටුමට අදාළ බව ඡායාරූපය සමග සඟරාව තුළ පළව ඇති සටහන මගින් පැහැදිලි කර ඇත.

කෑකෝ ගසමින් අලි දෙදෙනාට පරිභව කළ මිනිස්සු කණ්ඩායමක් ඔවුන් වෙත "තාර බෝල සහ රතිඤ්ඤා" දමා ගසන අවස්ථාවේ බිප්ලබ් හස්රා විසින් එය සිය කැමරා කාචයේ සටහන් කර ගනු ලැබ ඇතැයි එම සටහනේ දැක්වේ.

"වියවුලට පත්ව" විලාප නගමින් අලි පැටවා පළාගිය ආකාරය හස්රා සිහිපත් කරයි.

"සියවස් ගණනාවක් මේ උපමහද්වීපයේ සැරිසරපු මේ බුද්ධිමත්,සමාජශීලී සතුන්ට වර්තමානය අපායක්" යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් අවධානයට ලක්ව ඇත.

අලිඅතුන්ගේ වාසභූමි මහා පරිමාණයෙන් විනාශ කර දැමීම සහ එම වන සතුන් දරුණු ලෙස අපයෝජනයටත් වධහිංසාවලටත් ලක් කිරීම සම්බන්ධයෙන් ගම්වාසීන් වගකිවයුතු බව බන්කුරා හි වෙසෙන මයිනක් මසුම්දර් පැවසීය.

එසේම අලිඇතුන් අස්වැනු විනාශ කරමින් ගොවි බිම්වලට අලාභහානි කරන බවත් අලි ප්‍රහාරවලට හසුව "අහිංසක මිනිසුන්" මරණයට පත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Sri Lankan children look at the body of an elephant at Cheddikulam, some 260 kilometres (162 miles) north of Colombo on August 17, 2016, after it was hit by a train

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාව: දුම්රියට හසුව මරණයට පත් වූ අලි පැටවෙක්

අසල්වැසි ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද අලි මිනිස් ගැටුම හේතුවෙන් සිදුවන මරණ නිතර වාර්තා වේ.

නිල වාර්තාවලට අනුව ශ්‍රී ලංකාව තුළ වසරකට අලිඇතුන් 200 ආසන්න සංඛ්‍යාවක් මරණයට පත්වන අතර ඉන් වැඩි දෙනෙකු එවැනි ඉරණමකට ගොදුරු වන්නේ අලි මිනිස් ගැටුම හේතුවෙනි.

වන අලින්ගේ ප්‍රහාරයට ලක්ව වසරකට මරණයට පත්වන මිනිසුන් සංඛ්‍යාව 50 ආසන්නය.

ශ්‍රී ලංකාව තුළ දල වශයෙන් අලිඇතුන් 7,000 ආසන්න සංඛ්‍යාවක් ජීවත් වේ.

සබැඳි යොමු: