ලාහෝර් සංචාරය ; ක්‍රීඩකයන් අති විශේෂ රැකවරණ මැද

වෙඩි නොවදින බස් රියකින් රැගෙන යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම
ඡායාරූප ශීර්ෂ වැකිය, වෙඩි නොවදින බස් රියකින් රැගෙන යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම

ලාහෝර් නගරයේ පැවැත්වුන ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර 'විස්සයි විස්ස' ක්‍රිකට් තරඟය මෙයින් ස්වල්ප වේලවකට පෙර පාකිස්තාන් කණ්ඩායමේ ජයග්‍රහණයෙන් නිමවිය.

පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන් කණ්ඩායම නියමිත ඕවර් විස්ස නිමාවේ කඩුලු තුනකට ළකුණු 180 ක් වාර්තා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සිය ඉණිමේ දී කඩුලු නවයක් දැවී ලබා ගන්නා ලද්දේ ළකුණු 144 පමණි.

වසර අටකට පසුව පාකිස්තානයේ සංචාරයක නිරත වුන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (ඔක්තෝබර් 30 ) ලාහෝර් නගරයට ලඟා වුණේ එක්සත් එමීරයේ 'අබුඩාබි' සිටයි.

අබුඩාබි නගරයේ දී පාකිස්තාන් කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරඟ දෙකකට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එම තරඟාවලියේ තුන්වෙනි සහ අවසන් තරඟය සඳහා ලාහෝර් නගරයට ලඟා විය.

අබුඩාබි සිට ගුවන් මගින් ලාහෝර් නගරය කරා සැපත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බෝම්බ නොවදින විශේෂ බස් රියකින් ඔවුන් ලැගුම් ගන්නා හෝටලය වෙත කැටුව යන ලද්දේ ඉතා දැඩි ආරක්ෂක රැකවරණ මැදයි.

තරඟය ආරම්භ කිරීමට පෙර

ඡායාරූප මූලාශ්‍රය, BBC URDU

ඡායාරූප ශීර්ෂ වැකිය, තරඟය ආරම්භ කිරීමට පෙර

ලාහෝර් නගරයේ 'අලාමා ඉක්බාල්' ගුවන් තොටුපොළේ සිට හෝටලය තෙක් කිලෝමීටර් දාහතරක් දීර්ඝ මාවත ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැගෙන යද්දී දහස් ගණනක් සන්නද්ධ පොලිස් භටයන් සීරුවෙන් තබා සිටි අතර එම මාවත සෙසු වාහන සඳහා සහමුළින්ම තහනම් කරනු ලැබ තිබුණි.

පොලිස් කොමාන්ඩෝ භටයන්ගේ ආරක්ෂාව ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායම ගමන් ගනිද්දී සාප්පු සංකීර්ණ සහිත මෝල් මාවත ද (MALL ROAD) ජනශුන්‍ය මට්ටමක පැවතුණි.

මෙයින් දින දෙකකට පෙර ශ්‍රී ලංකාවෙන් පැමිණි ආරක්ෂක දූත මණ්ඩලයක් විසින් ද යොදා ඇති ඉහත කී ආරක්ෂක රැකවරණ අධීක්ෂණය කරන ලද බව පාකිස්තානයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

විශේෂ රැකවරණ

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විශේෂ රැකවරණ

ක්‍රීඩකයන් ලාහෝර් නගරයට ලඟා වීමට පෙර පාකිස්තාන් යුද හමුදාව,අතිරේක හමුදා සහ පංජාබ් පොලිස් භටයන් සහභාගී කෙරුණ පෙරහුරු ආරක්ෂක ගමනක් ගුවන් තොටුපොළේ සිට ක්‍රීඩකයන් ලැගුම් ගනු ලබන හෝටලය තෙක්ම පවත්වා ඇති බවත් එම වාර්තාවන්හි දැක්වෙයි.

"ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීමට අපි සූදානමින් සිටිනවා" ක්‍රීඩකයන් ලඟා වීමට පෙර ප්‍රකාශයක් කළ පංජාබ් පොලිස් ප්‍රධානී ආචාර්ය හයිදර් අෂ්රෆ් ගඩාෆි ක්‍රීඩාංගනයේ දී මාධ්‍යවේදීන් අමතමින් සඳහන් කළේය.

"පංජාබ් ප්‍රාන්ත පරිපාලනය සහ පොලිසිය ඉහළම මට්ටමින් කටයුතු කරමින් සිටින බව මට සහතික කරන්න පුළුවන් .ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට අපි සූදානම්. ශ්‍රී ලංකාවේ ආරක්ෂක දූත මණ්ඩලයකුත් ඇවිත් ඉන්නවා. අපගේ ආරක්ෂක විධි විධාන සම්බන්ධයෙන් අසතුට හෝ කිසිදු ආකාරයක විරෝධයක් කිසිම කෙනෙකුගෙන් මේ දක්වා මතු වෙලා නැහැ" පංජාබ් පොලිස් ප්‍රධානියා පවසයි.

ලාහෝර් නගරයේ ආරක්ෂක විධි විධාන ජාත්‍යන්තර ප්‍රමිතියේ මට්ටමින් සලසා ඇති අතර පාකිස්තාන් ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) පවතින තත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්ව සිටින බවත් පංජාබ් පොලිස් ප්‍රධානී ආචාර්ය හයිදර් අෂ්රෆ් වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිගැනීමේ සූදානම
ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පිළිගැනීමේ සූදානම

ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක උපදේශකයන් ද ලාහෝර් ආරක්ෂක රැකවරණ සඳහා උපයෝගී කර ගනිමින් ඇත.

සලසා ඇති ආරක්ෂක රැකවරණ යටතේ 'ගඩාෆි' ක්‍රීඩාංගණයට පිවිසෙන ක්‍රීඩාලෝලීන්ට ස්ථාන හතරක දී පරීක්ෂාවන්ට මුහුණ දීමට සිදු වෙයි.

රථ වාහන සඳහා වෙන් කරනු ලැබ කලාපයන්හි සිට ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගනයේ දොරටු කරා ප්‍රවාහනය කරනු ලබන්නේ ඒ අතර ධාවනය කෙරෙන බස් රථ (A SHUTTLE SERVICE) මගිනි.

ශ්‍රී ලංකාවට තුති පුදන පාකිස්තාන් ක්‍රීඩාලෝලීන්

ඡායාරූප මූලාශ්‍රය, BB URDU

ඡායාරූප ශීර්ෂ වැකිය, ශ්‍රී ලංකාවට තුති පුදන පාකිස්තාන් ක්‍රීඩාලෝලීන්

මෙම ලාහෝර් සංචාරයට 2009 ප්‍රහාරයට ගොදුරු වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයකු ඇතුළත් නොවෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් කීපදෙනෙක් මෙම සංචාරයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ අතර එම පුරප්පාඩු නවකයන්ගෙන් පිරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයට සිදු විය.

එක්දින කණ්ඩායමේ නායක උපුල් තරංග ,ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල,සුරංග ලක්මාල් සහ අකිල ධනංජය සංචාරයට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ වෙති.

කණ්ඩායමේ නායක තිසර පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, Empics

ඡායාරූප ශීර්ෂ වැකිය, කණ්ඩායමේ නායක තිසර පෙරේරා

ඒ අනුව අද ලාහෝර් නගරයට ලඟා වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ තිසර පෙරේරා විසිනි.

ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සිය කණ්ඩායම සමඟ එක්ව සිටිති.

2015 වසරේ පාකිස්තානයේ සංචාරයක නිරත වූ සිම්බාබ්වේ කණ්ඩායම හැරුන විට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන වෙනත් කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් 20019 ප්‍රහාරයෙන් අනතුරුව එරට සංචාරය කොට නැත.

ශ්‍රී ලංකා කණ්ඩායමත් මෙම සංචාරයේ දී සහභාගී වන්නේ එක් තරඟයකට පමණි. එම තරඟය අද සවස ආරම්භ වීමට නියමිතය.

පාකිස්තාන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරුන් දෙදෙනා සහ නායක තිසර පෙරේරා

ඡායාරූප මූලාශ්‍රය, BBC URDU

ඡායාරූප ශීර්ෂ වැකිය, පාකිස්තාන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරුන් දෙදෙනා සහ නායක තිසර පෙරේරා

සබැඳි පුවත්;

ආරක්ෂක තුවක්කු මැද ක්‍රිකට් ලාහෝර් සැණකෙළිය

ඡායාරූප මූලාශ්‍රය, BBC URDU

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක තුවක්කු මැද ක්‍රිකට් ලාහෝර් සැණකෙළිය