ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ශිරන්ති CID වෙත නොපැමිණෙයි
තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම පිණිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අද (ජුලි 27) ඒ හමුවේ පෙනී සිටීමට නොහැකි බව දන්වා තිබේ.
ඇය ඒ වෙත කැඳවා තිබුණේ රතුකුරුස ආයතනය විසින් 'සිරිලිය සවිය' සංවිධානය වෙත සපයන ලද ඩිෆෙන්ඩර් ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.
අද දින ශිරන්ති රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නොහැකි බව ඇයගේ නීතිඥයින් ඒ වෙත දන්වා තිබේ.
බීබීසී සිංහල සේවය කළ විමසීමක දී ශිරන්ති රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේ ඉදිරි දිනකදී අදාළ ප්‍රකාශය ලබා දීමට කටයුතු කරන බවය.
(WP) KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වෙනිදා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ශිරන්තිගේ 'සිරිලිය සවිය' සංවිධානය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට ඉහතදී දන්වා තිබිණි.
තාජුදීන්
රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර ඇතැයි ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණවලින් හෙළි වී ඇති බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි.
එම රථය 'සිරිලිය සවිය' සංවිධානය භාරයේ තිබෙන අවස්ථාවේදී ඔවුන් එය කුමන කාර්යයක් සඳහා භාවිත කළේ ද යන්න තමන් නොදන්නා බව රතුකුරුස සංවිධානය එවක පැවසීය.
ඩිෆෙන්ඩර් රථයේ පැහැය වෙනස් කිරීම සම්බන්ධයෙන් තමන් දන්නා සියලුම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇති බවත් එම ආයතනය සඳහන් කොට තිබිණි.
අදාළ ඩිෆෙන්ඩර් රථය මේ වන විට පවතින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේය.
මේ අතර තාජුදීන් ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වූ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක වසරකට අධික කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ අතර පසුගියදා ඇප මත නිදහස් කෙරිණි.