"GSP දෙනවා -දිගටම අධීක්ෂණය කරනවා"

ලබන දහනව වෙනිදා (මැයි 19) පටන් යළි ප්‍රදානය කෙරෙන ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය මගින් ශ්‍රී ලංකාවට වසරකට රුපියල් කෝටි පන්දහසකට (යුරෝ කෝටි තිහකට අධික) අධික ආදායමක් හිමවනු ඇතැයි යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය ලබාදීමේ තීරණය ගැන අද (මැයි16)කොළඹ පැවැත්වුන මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටුන්-ලායි මාර්ගූ(Tung-Lai Margue)

"දැනට පවතින ආකාරයට ශ්‍රී ලංකාවට 2021 වසර දක්වා එම බදු සහනය හිමි විය හැකි" බව තානාපතිවරයා සඳහන් කළේය.

තවදුරටත් අදහස් දැක්වූ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිවරයා "රටක් ඉහළ මැදි ආදායම් ලබන රටක් ලෙස පිට පිට වසර තුනක් වාර්තා වුනොත් එම බදු සහනය ඉවත් කෙරෙන" බවත් පෙන්වා දුන්නේය.

2016 වසරේ යුරෝපය සඳහා කෙරුණ ශ්‍රී ලංකාවේ අපනයන වටිනාකම යුරෝ කෝටි 260 ක් පමණක් වූ බව පෙන්වා දෙන තානාපතිවරයා ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන වලින් 1/3ක්ම යුරෝපයට සැපයෙන බවත් සඳහන් කළේය.

GSP+ තීරුබදු සහනය මගින් ලබන ආදායම අවම වශයෙන් තවත් යුරෝ කෝටි තිහකින් පමණ ඉහළ යන බව පෙන්වා දෙන ඔහු මෙම අවස්ථාව නිසි ලෙස භාවිතා කර ගැනීමෙන් ශ්‍රී ලංකාවට තවත් වාසි රැසක් අත්කරගත හැකි බවත් පෙන්වා දෙයි.

මැයි මස 19 වැනිදා සිට ශ්‍රී ලංකාව සඳහා GSP + තීරු බදු සහනය ක්‍රියාත්මක වන බව සඳහන් කළ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටුන්-ලායි මාර්ගූ(Tung-Lai Margue) ඒ සමග වෙනත් රටවල්ද ශ්‍රී ලංකාව සමග ආයෝජන ගිවිසුම් සඳහා වැඩි වශයෙන් උනන්දු වනු ඇතැයි ද කියා සිටියේය.

ඉහත කී මාධ්‍ය හමුවට සහභාගී වූ යුරෝපා සංගමයේ වෙළඳ කොමසාරිස් සෙසිලා මල්මස්ටෝම් "ශ්‍රී ලංකා රජය අන්තර් ජාතික සම්මුතීන් සහ මානව හිමිකම් ක්ෂේත්‍රයන්හි ලබා ඇති ප්‍රගතිය GSP සහනය යළි දිනා ගැනීමට හේතු වූ අතර "එහෙත් ශ්‍රී ලංකාවේ තත්වය ඉතා හොඳ යැයි ප්‍රකාශ කිරීමක් එමගින් අදහස් නොකෙරෙන" බව සඳහන් කළේය.

"මේ මොහොතේ පවතින තත්වය සර්ව සම්පූර්ණ යයි කවුරුවත් කියන්නේ නැහැ. ත්‍රස්තවාදය වැළැක්වීමේ වීමේ පනත අහෝසි කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ විය යුතුව තියෙනව. වධහිංසා,බාල වයස් කරුවන් බලහත්කාරයෙන් විවාහ කරවීම සහ සමාජයීය වෙනස්කම් කිරීම් ආදිය බෙහෙවින් වාර්තා වෙනවා. එවැනි දේවල් අවසානයකට ගෙන එනු ලැබීම අපේ උවමනාවයි. යුරෝපා හවුල එම කරුණු අතින් ශ්‍රී ලංකාව ලබන ප්‍රගතිය අධීක්ෂණයට රාජ්‍ය නොවන සංවිධාන සමඟ දැඩි උනන්දුවකින් කටයුතු කරනවා" වෙළඳ කොමසාරිස් සෙසිලා මල්මස්ටෝම් ප්‍රකාශ කළේය.