ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
දකුණු ආසියානු චන්ද්‍රිකාවට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර
ශ්‍රී ලංකාව ඇතුළු සිය අසල්වැසි රටවල් සමග හවුලේ භාවිත කළ හැකි 'දකුණු ආසියානු චන්ද්‍රිකාව' ඉන්දියාව විසින් ඊයේ (මැයි 05) අභ්‍යවකාශ ගත කරනු ලැබීය.
චන්ද්‍රිකාව සාර්ථකව අභ්‍යවකාශ ගත කිරීම සම්බන්ධයෙන් සුභ පැතුම් එක් කිරීම සඳහා දකුණු ආසියානු රටවල නායකයෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග වීඩියෝ සංවාදයකට එක් වූහ.
සාක් කලාපීය සාමාජික රටවල ප්‍රයෝජනය සඳහා චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම පිළිබඳව එයට එක් වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉන්දීය අගමැතිවරයා වෙත සුභ පැතුම් පළ කළේය.
"සාක් කලාපීය සාමාජික රටවල් වෙනුවෙන් දකුණු ආසියානු චන්ද්‍රිකාව දියත් කළ මේ ඓතිහාසික මොහොතේ ඔබට සුබ පැතීමට ලැබීම මා ලද ගෞරවයක්," යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.
"දකුණු ආසියානු රටවල් සමග සමීප සබඳතා ගොඩ නැගීම සඳහා ඔබ සතු කැපවීම සහ කැමැත්ත මින් පිළිබිඹු වෙනවා."
දකුණු ආසියානු චන්ද්‍රිකාව භාවිත කරන බවට මේ වනවිට ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, මාලදිවයින, ඇෆ්ගනිස්තානය, භූතානය සහ නේපාලය යන කලාපීය රටවල් සිය එකඟත්වය පළ කොට තිබේ.
තමන්ගේම චන්ද්‍රිකාවක් අභ්‍යවකාශ ගත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව පවසන පාකිස්තානය එම ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ නොවීය.
'චීන බලපෑම'
'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අජටාකාශ ගත කළ චන්ද්‍රිකාවේ ඉලක්කය වී ඇත්තේ කලාපීය රටවල විදුලි සංදේශ කටයුතු සහ විකාශන සේවා ඉහළ නැංවීමය.
දකුණු ආසියානු චන්ද්‍රිකාව ඔස්සේ අසල්වැසි රටවල් වෙත විකාශන සහ ජංගම දුරකථන ජාල ඇතුළු විදුලි සංදේශ සේවා සඳහා පහසුකම් සපයනු ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළේය.
අගමැති මෝදි විසින් චන්ද්‍රිකාව හඳුන්වනු ලැබුවේ සිය අසල්වැසියන් වෙත පිදෙන "මිල කළ නොහැකි තෑග්ගක්" ලෙසිනි.
මෙය, කලාපය තුළ චීන බලපෑම සමනය කරමින් අසල්වැසි රටවල් සමග හොඳ හිත වර්ධනය කර ගැනීමට ඉන්දියාව ගත් උත්සාහයක් වශයෙන් ඇතැම් විශ්ලේෂකයෝ විග්‍රහ කරති.