ඉන්දියාව රුසියාවේ වාර්තාව බිඳ දමයි

එක් රොකට් යානයක් යොදා ගෙන එකවර චන්ද්‍රිකා එකසිය හතරක් අභ්‍යවකාශගත කරමින් ඉන්දියාව නව වාර්තාවක් තැබීය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කී රුසියාව එකවර චන්ද්‍රිකා තිස්හතක් අභ්‍යවකාශගත කොට තිබිණි.

ඉන්දියාව විසින් අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රිකා අතරින් අනූ හයක් ඇමරිකා එක්සත් ජනපදයට අයත්ය.

'නාසා ආයතනය'

කුඩා පරිමාණයේ සෙසු චන්ද්‍රිකා ඊශ්‍රායලය, කසකස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ස්විට්සර්ලන්තය සහ නෙදර්ලන්තය යන රටවලට අයත් වේ.

චන්ද්‍රිකා රැගත් රොකට් යානය ගුවන්ගත කෙරුණේ දකුණු ඉන්දියාවේ පිහිටි 'ශ්‍රීහරිකොටා' අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

ට්විටර් සමාජ ජාලය ඔස්සේ සුබ පැතුම් පණිවුඩයක් නිකුත්කරමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, සිය රටට සහ විද්‍යා ක්ෂේත්‍රයේ විද්වත් ප්‍රජාවට ආඩම්බර විය හැකි අවස්ථාවක් ලෙස අභ්‍යවකාශ මෙහෙයුම හඳුන්වා දුන්නේය.

වාණිජ අවශ්‍යතා සඳහා චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ වෙළඳපොළ තුළ අඩු පිරිවැය සහිත විකල්පයක් ලෙස ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන නමක් දිනා සිටියි.

ඩොලර් ප්‍රකෝටි ගණනක මුදල් සංසරණය වන අභ්‍යවකාශ වෙළඳපොළ තුළ ප්‍රමුඛ පෙළ දැවැන්තයකු වශයෙන් ඉන්දියාව මතු වෙමින් සිටින බවට නවතම අභ්‍යවකාශ මෙහෙයුම සංඥාවක් ලබා දෙන බව නිරීක්ෂකයෝ පවසති.

එක්සත් ජනපදයේ නාසා ආයතනය විසින් එකවර අභ්‍යවකාශ ගත කොට ඇති වැඩිම චන්ද්‍රිකා සංඛ්‍යාව 29 කි.