ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
යුද අපරාධ: මෛත්‍රී සහ රනිල්ට දෙමළ ජාතික සන්ධානයෙන් ප්‍රතිචාර
මීට වසර දෙකකට ඉහතදී එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ දුන් ප්‍රතිඥා ඉටුකිරීම පිණිස ශ්‍රී ලංකාවට තවත් කාලය ලබාදීම පිළිබඳව විරෝධයක් නැතත්, යුද අපරාධ චෝදනා විභාග කිරීම සම්බන්ධ විමර්ශනයට අනිවාර්යයෙන්ම විදේශීය විනිසුරුවන් සම්බන්ධ කරගත යුතු බව දෙමළ ජාතික සන්ධානය යළිත් වරක් අවධාරණය කරයි.
එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයාද පෙන්වාදුන් පරිදි සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ ප්‍රවිචාරන කාර්ය සාධක බලකායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටින බවත් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්ඒ සුමන්දිරන් බීබීසී සිංහල සේවයට පැවසීය.
මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙනත් රාජ්‍ය නොවන සංවිධානයක බලපෑම යටතේ යුද හමුදාවට එරෙහිව 'නඩු ඇසීමට' සූදානම් නොමැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සෙනසුරාදා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.
විදේශීය විනිසුරන් පත්කිරීම සඳහා නව නීතියක් අවශ්‍යවන බැවින් එවැන්නක් සම්මත කිරීම ඉතා දුෂ්කර කරුණක් වනු ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව විමසූ අවස්ථාවේ නීතිඥ සුමන්දිරන් කියා සිටියේ, එවැන්නකට එරෙහිව කිසිවක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවන බවය.
"ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකට විරුද්ධව මොනවත් නෑ. ඒක කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා ඒක කරන්න ඕන," ඔහු පැවසීය.
කෙසේ නමුත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කරන ප්‍රසිද්ධ ප්‍රකාශ පිළිබඳව තමන් එතරම් අවධානයක් පළනොකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
යුද අපරාධ චෝදනා විභාග කිරීම සහ රටේ සංහිඳියාව ඇතිකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුවට තවත් වසර දෙකක කාලය කාලය ලබාදෙන මෙන් ඉල්ලා සිටිමින් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට නව යෝජනාවක් ඉදිරිපත් කෙරෙන බව සංහිඳියා සම්බන්ධීකරණ කාර්යාලයේ මහ ලේකම් මනෝ තිත්තවැල්ල බීබීසී සිංහල සේවයට පැවසීය.
එසේ කාලය ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නැතත්, ආණ්ඩුව එක්සත් ජාතීන්ට දුන් පොරොන්දු සියල්ල එලෙසින්ම ඉටුකළ යුතුය යන්න සිය සන්ධානයේ ස්ථාවරය බවත් මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේ නමුත් විදේශීය විනිසුරන් සම්බන්ධයෙන් කිසිවක් ඉදිරිපත් කෙරෙන නව යෝජනාවේ ඇතුලත් නොවන්නේ නම් දෙමළ ජාතික සන්ධානය එයට දැඩි විරෝධය පළකරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.