නවක වදය: 'ශිෂ්‍ය සංවිධානවල පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක්'

ශ්‍රී ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරයේ පැවැත්ම සඳහා නවක වදය අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වී තිබෙන බව අග්නිදිග විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා පවසයි.
කෙසේ නමුත් දඬුවම් පැමිණවීමෙන් පමණක් නවක වදය වැළැක්වීමට හැකි වනු ඇතැයි විශ්වාස කළ නොහැකි බවත් මහාචාර්ය එම්එම්එම් නජීම් බීබීසී සිංහල සේවයට පැවසීය.
නවක වදයට විරුද්ධවන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාලය තුළ 'අලයන් හෝ අල කල්ලි' ලෙසින් හංවඩු ගසා කොන්කරනු ලබන බව පෙන්වාදෙන උපකුලපතිවරයා, නවක වදය දීමේ ප්‍රධානම පරමාර්ථය සිය කණ්ඩායම්වල සාමාජික සංඛ්‍යාව තරකර ගැනීම බවත් සඳහන් කළේය.
"නවක වදය කියන එක ඒගොල්ලන්ගේ පැවැත්ම සඳහා ශිෂ්‍ය සංගම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරනවා."
එබැවින් ප්‍රසිද්ධියේ කවරක් සඳහන් කළත්, විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය නායකත්වය අවංකව නවක වදයට විරුද්ධ නැති බව අග්නිදිග විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා අවධාරණය කරයි.
මහාචාර්ය මොහමඩ් නජීම් ඒ බව කියා සිටියේ, පසුගියදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් පේරාදෙණිය ආසන්නයේ ගම්මානයක කුලී නිවසක පවත්වාගෙන ගිය නවක වදය ලබාදෙන ස්ථානයක් පොලසිය විසින් වැටලීම පිළිබඳව බීබීසී ය ඔහුගේ අදහස් විමසූ අවස්ථාවේ.

ඡායාරූප මූලාශ්‍රය, MMM Najim/ Facebook
"දැන් ඔය ශිෂ්‍ය සංගම් පේරාදෙණිය සිද්ධිය සම්බන්ධයෙන් විරෝධතාවය ප්‍රකාශ කළත්, ඒගොල්ල විශ්වවිද්‍යාලය ඇතුලේ මේකට විරුද්ධව ක්‍රියාකරන්නේ නැහැ," ඔහු පැවසීය.
සිය විශ්ව විද්‍යාලයේ බරපතල මට්ටමින් නවක වදය දක්නට නැතත් නවක සිසුන්ට ලිංගික අතවර කිරීමේ චෝදනා ලැබූ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ පැවැත්වෙන් තිබෙන බවත් උපකුලපතිවරයා සඳහන් කළේය.
"උදාහරණයක් විදියට ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෝ පළමු වසර ශිෂ්‍යයන්ට අනිවාර්ය කරලා තියෙනව උදේ හයට ගිහිල්ල බුදුන් වඳින්න කියල. ඒකත් යම් බලහත්කාරයක් හැබැයි ඒක නවත්තන්න බැහැ එතන බොහොම සංවේදී තත්වයක් තියෙන නිසා."
නවක වදයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග පමණක් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙන මහාචාර්ය එම්එම්එම් නජීම්, නවක වදය මගින් සිසුන් 'නම්‍යකරණය' කරන බවට පවතින මතවාදයේ 'පුහු බව' ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවබෝධ කරදීම එය සම්පූර්ණයෙන්ම වැළැක්වීම සඳහා ගතහැකි සුදුසුම පියවර බවත් සඳහන් කළේය.
"මේගොල්ල නම්‍යකරණය කියල කියන්නේ ඒගොල්ලන්ගේ පැත්තට බලෙන් හරවා ගැනීම නැත්නම් බයකරලා තබාගැනීම. කැම්පස් එකේ ඉන්න ළමුන්ගෙන් ඉදිරියට ඇවිල්ල මේකට විරුද්ධව ක්‍රියාකරන්න පුළුවන් කණ්ඩායමක් හැදුනොත් මම හිතන්නේ ragging කියන එක නැතිවෙලා යාවි," ඔහු වැඩිදුරටත් පැවසීය.








