ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ඩිජිටල් ද? මේස පුටුද?
2017 වසර තුළ රට පුරා පාසල්වල 'ඩිජිටල් පන්ති කාමර' සියයක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
එහි පළමු නියාමක ව්‍යාපෘතිය කෝට්ටේ ජනාධිපති විද්‍යාලයෙන් ආරම්භ කළ බව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කියා සිටියේය.
මේ අතර පාසල්වලට අවශ්‍ය මූලික පහසුකම් ලබා දෙනවා වෙනුවට 'ඩිජිටල් පන්ති කාමර' වැනි ව්‍යාපෘති දියත් කිරීම කෙතරම් ප්‍රායෝගික දැයි ලංකා ගුරු සංගමය ප්‍රශ්න කරයි.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය සඳහා වෙන්කරනු ලබන මුදල් ප්‍රතිපාදන නිසි ලෙස භාවිතයට ගන්නේ දැයි යන්න ගැටලුවක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (පෙබ.10) පැවසීය.
අක්කරෙයිපත්තුවේ සමන්තුරේ පාසල් උත්සවයකට සහභාගී වීමට ගිය තමන්ට අවශ්‍ය මූලික පහසුකම්වත් එහි නොමැති බව දරුවන්ගෙන් දැනගැනීමට ලැබුණු බවත් ඔහු කියා සිටියේය.
"දරුවන්ගෙන් අහපුවම මොනවද දරුවනේ තියන අඩුපාඩු කියල, වැසිකිළි නෑ, කැසිකිළි නෑ, බොන්න වතුර නෑ, ඩෙස්ක් පුටු නෑ කිව්වා" යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමකදී අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා කියා සිටියේ පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමට මූලිකත්වය ලබා දෙන අතරම තාක්ෂණය උකහා ගැනීමට ද කටයුතු කළ යුතු බවය.
ශ්‍රී ලංකාවේ තිබෙන පාසල් දසදහස් එකසිය හැටඑකෙන් සියයට අනූ පහකට විදුලිය ලබා දී ඇති බව කියා සිටි අමාත්‍යවරයා පසුගිය වසර වනවිට පාසල්වලින් සියයට හැටකට පමණක් එම පහසුකම පැවති බව සඳහන් කළේය.
"මේ සියල්ල සම්පූර්ණ කරන තෙක් අපිට ඉන්න බැහැ. අනෙකුත් දියුණු ක්‍රමවේදත් අප විසින් උකහා ගතයුතුව තිබෙනවා" යනුවෙන් ඇමතිවරයා පැවසීය.
මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ ඩිජිටල් පන්ති කාමර ව්‍යාපෘතිය හුදෙක් රජයේ ප්‍රචාරණ ව්‍යාපාරයක් පමණක් බවය.
"අපේ රටේ පාසල් ළමුන් ලක්ෂ හතළිස් දෙකක් ඉන්නවා. කෝට්ටේ ජනාධිපති විද්‍යාලයේ පන්ති කාමරයක් ඩිජිටල් පන්ති කාමරයක් බවට පත් කරලා, අධ්‍යාපනය ඩිජිටල්කරණය කළා කියලා අගමැතිවරයා සහ අධ්‍යාපන ඇමතිතුමා කියනවා. එතන ඉන්නේ ළමයි විස්සයි" යනුවෙන් ඔහු පැවසීය.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම ද හුදු ප්‍රකාශයක් පමණක් බව ඔහු සඳහන් කළේය.
"මේවා ප්‍රකාශ, අවශ්‍ය වන්නේ භාවිතය. පාසල්වලට අත්‍යවශ්‍ය වන්නේ පන්ති කාමර, පාසල ප්‍රියජනක ස්ථානයක් බවට පත් කිරීම. ඊට අදාළ ක්‍රියාමාර්ග ගැනීම තමයි ප්‍රමුඛතාව. ඊළඟ අවශ්‍යතාව තමයි ප්‍රමාණවත් ගුරුවරුන් පුහුණු කිරීම, පුහුණු ගුරුවරුන් යාවත්කාලීන කිරීම. ඒ සඳහා ක්‍රියාමාර්ග නොගෙන මෙවැනි ප්‍රකාශ කිරීම හුදු දේශපාලනික ප්‍රචාර සඳහා කරන දේවල් පමණයි" ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේය.