ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ගුරු හිඟය: 'පරිපාලනයේ දෝෂ'
බඳවා ගැනීමේ විධිමත් ක්‍රමවේදයක් නොමැතිකමත් ගුරු මාරු ප්‍රතිපත්තිය නිවැරදිව ක්‍රියාත්මක නොවීමත් හේතුවෙන් අධ්‍යාපන පරිපාලනයේ ගැටළු රැසක් මතු වී ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
ශ්‍රී ලංකාව තුළ විසි දහසක පමණ ගුරු හිඟයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සිකුරාදා පවසා තිබිණි.
'අපි දන්නවා ලංකාවේ ගුරු සිසු අනුපාතය විස්සට එකක අනුපාතයට ඇවිත් තිබෙන්නේ. එසේ නම් මේ ගුරුවරු ඌනතාවක් ඇති වෙලා තිබෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය අප ඉදිරියේ පැන නගිනවා' ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේ අධ්‍යාපන ඇමතිවරයා විසින් සිදු කරන ලද ඉහත කී ප්‍රකාශය පිළිබඳ ප්‍රතිචාර දක්වමිනි.
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ හරහා ගුරුවරුන් බඳවා නොගෙන දේශපාලන අවශ්‍යතා මත පළාත් සභා සහ රේඛීය අමාත්‍යංශය විසින් ගුරුවරුන් බඳවා ගනු ලබන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමද වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා යටතේ නිසියාකාරව සිදු නොවන බවත් ජෝසෆ් ස්ටාලින් පවසයි.
මේ වන විට මහරගම ඇතුළු දිවයින පුරා පිහිටි ගුරු විද්‍යාල ගණනාවක් වසා දමා ඇති බවත් ඔහු කියා සිටියේය.
'ආරම්භයේදී ලංකාවේ ගුරු විද්‍යාල විසි හතරක් තිබ්බා, දැන් දහයයි ක්‍රියාත්මක වෙන්නේ'
ඇතැම් ප්‍රදේශ තුළ ගුරු හිඟයක් සහ තවත් ප්‍රදේශ තුළ ගුරු අතිරික්තයක් පවතින බව අධීක්ෂණය කොට ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.
ගුරු අතිරික්තය සහ ඌනතාව තුලනය වීම සඳහා ඇති ජාතික ගුරු මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
'සමහර පාසල්වල ගුරුවරු ගොනු වෙලා ඉන්නවා. එවැනි ගුරුවරු සම්බන්ධයෙන් විධිමත් මාරු ප්‍රවේශයක් සිදු කරන්නේ නැහැ. නමුත් තමන්ට අවශ්‍ය ආකාරයට අත්තනෝමතික ලෙස දේශපාලන මරු වීම් සිදු කරනවා.'
'මේ මරු කිරීමේ ප්‍රතිපත්තිය නිසි ලෙස ක්‍රියාත්මක නොවෙන තුරු, මේ අතිරික්ත ඌනතාව පවතිනවා.ළමයින්ට ගුරුවරයෙක් නැති වෙනවා.' ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් වැඩිදුරටත් කියා සිටියේය.