ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'වදහිංසාවල අඩුවක් නැහැ'
ශ්‍රී ලංකාව තුළ සිදුවන වදහිංසාවල අඩුවක් දක්නට නොමැති බව පෙන්වා දෙන මානව හිමිකම් සංවිධාන ජිනිවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ වදහිංසා පිලිබඳ කමිටුවට ඒ පිළිබඳ වාර්තා කරන බව පවසති.
වදහිංසා යනු අපරාධ ගණයට වැටෙන බරපතළ වරදක් ලෙස පිළිගෙන ශ්‍රී ලංකාව තුළ ඒ සඳහා නීති පනවා තිබුනත් එම නීති නිසියාකාරව ක්‍රියාත්මක නොවෙන බව එක්සත් ජාතීන්ගේ වදහිංසා පිලිබඳ කමිටුව සඳහා සහභාගි වීමට නියමිත "රයිට් ටු ලයිෆ්" (Right to Life) මානව හිමිකම් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ පිලිප් දිසානායක බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
රට තුළ සිදුවන වදහිංසා පිළිබඳ සිවිල් සංවිධාන විසින් සකස් කරන ලද වාර්තාවක් එක්සත් ජාතීන්ගේ වදහිංසා පිළිබඳ කමිටුවට යොමු කිරීමට නියමිත අතර එහි පිටපතක් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙත ද ලබා දී ඇති බව ඔහු කියා සිටියේය.
"එක්සත් ජාතීන්ගේ වදහිංසා පිළිබඳ කමිටුව අවුරුදු හතරකට වරක් ජිනීවා නුවරදී රැස් වෙනවා. ශ්‍රී ලංකාව එම කමිටුවේ සාමාජික රටක් හැටියට, රට තුළ වදහිංසා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ පසුගිය සැසි වාරයේ ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා රජය ද වාර්තාවක් ඉදිරපත් කරන්න ඕනේ." ඔහු පැවසීය.
'පොලිස් වදහිංසා'
"පොලිසිය විසින් අපරාධකරුවන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා භාවිතා කරන එකම ක්‍රියාමාර්ගය බවට වදහිංසා පත්වී තිබෙනවා. එය සියලු පොලිස් ස්ථාන තුළම සිදුවන බව අපිට වාර්තා වෙනවා."
"මේවැනි වදහිංසා නැති කිරීමට ජාතික හා ජාත්‍යන්තර නීති ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වුවත්, රට තුළ වදහිංසා අඩු නොවී තිබෙන බවයි අපේ වාර්තාවේ කරුණු සහිතව පෙන්වා දී තිබෙන්නේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ඉදිරිපත්කර ඇති විකල්ප වාර්තාවෙනුත්, රට තුළ සිදුවෙන වදහිංසාවල වැඩිවීමක් දක්නට ලැබෙන බව සඳහන් කර තිබෙනවා."
වදහිංසා වැඩි වශයෙන් සිදු වන බවට වාර්තාවන පුත්තලම වැනි දිස්ත්‍රික්කවල සිය කාර්යාල පිහිටුවීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සහ පොලිස් කොමිෂන් සභාව කටයුතු කර තිබෙන බවත් "රයිට් ටු ලයිෆ්" සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ පිලිප් දිසානායක කියා සිටියේය
මේ අතර බලහත්කාර අතුරුදහන් කරවීම්වල අඩුවක් මේ මොහොතේ දක්නට ලැබෙන බව මානව හිමිකම් ක්‍රියාධර බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසීය.
'යුද විරුවන් සහ ජනපති'
"ඇතැම් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී සුදු වෑන් සංස්කෘතියේ යළි ආරම්භයක් පෙන්නුම් කළා. නීතියෙන් පරිභාහිරව රඳවා ගෙන පසුව එම පිරිස් නිදහස ලැබුවා. කෙසේ නමුත් පොදුවේ ගත්විට අතුරුදහන් වීම් වාර්තා නොවන තත්වයක් අද වෙද්දී තිබෙනවා." ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
පසුගිය පාලන සමයේ සිදු වූ පුද්ගල අතුරුදහන් කරවීම් සම්බන්ධයෙන් සුවිශේෂී අවධානයක් යොමුකොට කටයුතු කරන බව පෙන්වීමට යහපාලන ආණ්ඩුව අසමත් වී ඇති බව බ්‍රිටෝ ප්‍රනාන්දු පවසයි.
'යුද විරුවන්ට දඬුවම් ලබා දීමට ඉඩ නොදෙන බවට' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ " මේ කාරණය පිටුපස යම් කිසි සැකයක් මතු කරනවා ඇත්තටම මේ කාරණාවලට හවුල් වූ පුද්ගලයන්ට දඬුවම් දෙන්නේ කොහොමද කියලා" යනුවෙනි.