ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'ගැබිනි මවට පහර දීම ගැන තවමත් පරීක්ෂණයක් නැහැ'
සාලියවැව පොලිසියේ නිලධාරීන් යයි පැවසෙන පිරිසක් පලුගස්සේගම ප්‍රදේශයේ පදිංචි ගැබිනි මවකට පහර දුන් බවට එල්ල වන චෝදනා පිළිබඳ මෙතෙක් විධිමත් පරීක්ෂණයක් සිදු නොකිරීම සම්බන්ධයෙන් කාන්තා සංවිධානවල විරෝධය පළ වෙමින් ඇත.
ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පවත්වා වරදකරුවන් නීතිය හමුවට ගෙන ඒමට ක්‍රියා කරන ලෙස සවිස්ත්‍රී කාන්තා සංවිධානය පොලිස්පති පූජිත ජයසුන්දරගෙන් සහ පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටියි.
ගැබිනි මවකට පහර දී තිබියදීත් වගකිවයුතු ආයතනයක් ලෙස පොලිසිය නිහඩව සිටීම කෙතරම් යුක්ති සහගතද දැයි සවිස්ත්‍රී කාන්තා සංවිධානයේ ජාතික ලේකම් පද්මා පුෂ්පකාන්ති ප්‍රශ්න කරයි.
මහජන සාමය හා ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා කැප වූ ආයතනයක නිල දරුවන් රාත්‍රියේ බලහත්කාරයෙන් නිවසකට ඇතුළු වී ගැබිනි මවකට පහර දෙන තත්වයක් යටතේ තමන් පැතූ නිදහස නියමාකාරයෙන් ලබුනේ දැයි යන්න පිළිබඳ සැක පහළ වන බව 'දාබිඳු සමූහිකයේ' චමිලා තුෂාරි චමිලා පවසයි.
'වගකිවයුත්තන් නිහඬයි'
කාන්තාවක් සහ දැරියක් වෙසෙන නිවසට රාත්‍රියේ කඩා පැන ප්‍රහාර සිදු කිරීම සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම හරහා රජයද එවැනි ප්‍රහාර අනුමත කරන බවට ජාත්‍යන්තරයට පණිවුඩයක් ලබා දෙන බව මාධ්‍යවේදීනි මෙලනි මානෙල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියාය.
එම තත්වය පසුගිය පාලන සමයේ සිදු වූ අතුරුදන් කිරීම්, පහර දීම්, අත්අඩංගුවේ සිටියදී සිය දිවි හානි කර ගැනීම හෝ මිය යෑම වැනි සිදුවීම්වලට සමාන බවත් ඇය පෙන්වා දෙයි.
මේ වන විට තම නිවසේ නිදහසේ ජිවත් වීමට නොහැකි තත්වයක් උදා වී ඇති බව පහර කෑමට ලක් වූ බව පැවසෙන ගැබිනි මව හසිකා ශෂිකාන්ති පවසන්නීය.
තමා ස්වාමියා සහ දියණිය සමග සහෝදරියකගේ නිවසේ ජිවත් වන බව කියා සිටි ඇය තම ස්වාමියාට අසත්‍ය චෝදනාවක් එල්ල කොට හෝ අත්අඩංගුවට ගන්නා බව කියමින් පොලිසිය තර්ජන කරන බවත් සඳහන් කළාය.
'පොලිසියේ ප්‍රතිචාරය'
ඉහත කී චෝදනා පිළිබඳ සාලියවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. එච්.සි. සි. කුමාරසිංහගෙන් බීබීසී සංදේශය විමසූ අවස්ථාවේ සිය නිලධාරීන් අදාළ නිවසට ගිය කාරණය ප්‍රකාශ කළ නොහැකි බවයි ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ.
පහර කෑ බව පැවසෙන ගැබිනි මවගේ සැමියා හමුදාවෙන් පැන ආ පුද්ගලයකු බව කියා සිටි පොලිස් ස්ථානාධිපතිවරයා මේ වන විට ඔහු හමුදා අත්අඩංගුවේ පසු වන බව පවසයි.
පොලිසියේ රාජකාරියට බාධා සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවයි සාලියවැව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.