ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2017 අයවැය: 'මත්තල ණය ගෙවන්නේ කටුනායක ආදායමෙන්'
ආණ්ඩු විසින් ණය ලබා ගැනීම ලෝක ප්‍රවණතාවක් වන නමුත් එසේ ලබා ගන්නා ණය හුදෙක් පරිභෝජනය සඳහා නොව සංවර්ධන කටයුතු සඳහා ආයෝජනය කළ යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.
ඇමතිවරයා ඒ බව කියා සිටියේ අද (නොවැම්බර් 12) පැවති අයවැය විවාදයට සහභාගී වෙමිනි.
පසුගිය පාලන සමයේ ලබාගත් ණය එම අරමුණ සඳහා භාවිතා නොවුන අතරම මත්තල ගුවන් තොටුපල සහ හම්බන්තොට වරාය වැනි ව්‍යාපෘතීන් සඳහා සිදු කරන ලද ආයෝජන වෙනුවෙන් තවමත් ණය ගෙවීමට සිදු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
"අයවැය පිළිබඳ විවේචනය කරන බොහෝ දෙනෙක් කියන්නේ මේක ණය වැයක් කියලා. ණය ගැනීම අනිවාර්යයි." ඇමතිවරයා කියා සිටියේය.
"අප විසින් කරන ලද ඇතැම් ආයෝජන ඒ ආකාරයෙන් සිදු නොවූ නිසා තමයි මේ තත්වයට අද ඇවිල්ලා තියෙන්නේ. ඔබ දන්නවා මත්තල සිදු කළ ආයෝජනයට අද වාර්ෂිකව බිලියන දෙක හමාරක් විතර මුදල් ගෙවන්නේ කටුනායක ගුවන් තොටුපොලෙන් ලැබෙන ආදායමෙන්,"
"හම්බන්තොට වරාය හදපු එක හොඳයි. නමුත් ඒකෙන් ආදායමක් ලැබෙන්නේ නැහැ."
"අපි පරිභෝජනය සඳහා ණය ගන්නවා නම්, ණය උගුලකට අපි හසු වෙනවා," අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේය.
මේ අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවලිය ජනතා විමුක්ති පෙරමුණේ සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමේ දැඩි විවේචනයට ලක් විය.
පැවති ආණ්ඩු විසින් ලබාගත් ණය රටේ සංවර්ධන කටයුතු සඳහා යෙදවූයේ නම් මේ වන විට රටේ තත්වය බෙහෙවින් වෙනස් මුහුණුවරක් ගනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියේය.
අයවැය තුළින් අත්‍යවශ්‍ය ආහාර කීපයක මිල අඩු කොට ජල ගාස්තු සියයට තිහකින් ඉහළ නැංවීම මන්ත්‍රීවරයාගේ දැඩි විවේචනයට ලක් විය.