උතුරේ ධීවර ප්‍රශ්නය: 'ඉන්දියාවෙන් ලැබෙන විසඳුම් ගැන විශ්වාසයක් නැහැ'

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී මසුන් මැරීමේ චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් යාපනයේ කච්චතිව් අධිකරණයෙන් 2014 වසරේ මාර්තු මාසයේ දී නිදහස ලැබීය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වී මසුන් මැරීමේ චෝදනා යටතේ පොලිස් අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ධීවරයන් පිරිසක් යාපනයේ කච්චතිව් අධිකරණයෙන් 2014 වසරේ මාර්තු මාසයේ දී නිදහස ලැබීය.

ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ධීවර නායකයන්ගේ පොරොන්දු පිළිබඳව කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බව උතුරේ ධීවර සමිති නායක එම් එන් අලාම් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාවේ පැවති ධීවර සාකච්ඡාවට සහභාගී වීමෙන් පසුව බීබීසිය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

ඔහු වැඩි දුරටත් කියා සිටියේ පසුගිය සතියේ ඉන්දියාවේ දී පැවති සාකච්ඡාවේ දී ඉන්දීය ධීවරයන් අනවසරයෙන් උතුරු මුහුදට පැමිණීම නතර කරන බවට එරට බලධාරීන් පොරොන්දුවක් ලබා දුන්නද මේ සතිය පුරාම ඔවුන් සිය මුහුදු සීමාවට පැමිණි බවය.

උතුරේ ධීවර ප්‍රශ්න වලට ඉන්දියාවෙන් ලැබෙන විසඳුම් ගැන විශ්වාසයක් නැහැ

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK

දකුණු ඉන්දියානු ධීවර ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ධීවරයන් එකම භාෂාවක් කතා කරන සමාන ජීවන ගැටළු වලට මුහුණ දෙන පිරිසක්වන බැවින් මෙම ප්‍රශ්නය දෙස මානුෂීය කෝණයකින් බලා විසඳා ගැනීමට ක්‍රියා කරන ලෙස ඉන්දීය බලධාරීන් දෙරටේ ධීවර නායකයන්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූ එම් එන් අලාම් ප්‍රකාශ කළේය.

'උතුරේ මත්ස්‍ය සම්පත කොල්ල කෑමේ සූදානමක්'

යුද සමයේ දී ඉන්දීය රජය උතුරේ දෙමළ වැසියන්ට ඉතා විශාල වශයෙන් උදව් උපකාර කළ බව මතක් කරමින් ශ්‍රී ලාංකිකයන්ගේ අනුකම්පාව දිනා ගැනීමට උත්සාහ දරන ඉන්දීය රාජ්‍යතාන්ත්‍රිකයන් සහ ධීවර සමිති නායකයෝ එතුළින් උතුරේ මත්ස්‍ය සම්පත කොල්ල කෑමට සූදානම් වන බව ධීවර සමිති නායක එම් එන් අලාම් චෝදනා කරයි.

මේ සාකච්ඡාවට සහභාගි වූ ධීවර අමාත්‍ය මහින්දානන්ද අමරවීර බීබීසි සන්දේශයට කියා සිටියේ ඉතිහාසයේ කිසිම දිනක නොවූ අන්දමට ඉන්දියාව උතුරු මුහුදට ටෝලර්යාත්‍රා වලින් පැමිණ සිදු කරන මසුන් මැරීම වැරදි බව ප්‍රථම වරට පිළිගත් බවය.

උතුරේ ධීවර ප්‍රශ්න වලට ඉන්දියාවෙන් ලැබෙන විසඳුම් ගැන විශ්වාසයක් නැහැ

මෙම ගැටළු විසඳා ගැනීමට මාස හයකට වරක් දෙරටේ ධීවර අමාත්‍යවරු සහ ධීවර සමිති නායකයෝ මුණගැසී සාකච්ඡා කිරීමට තීරණය කළ බවත් අමාත්‍ය මහින්දානන්ද අමරවීර පැවසීය.

දැනට ශ්‍රී ලංකා පොලිසියේ අත්අඩංගුවට ගෙන තිබෙන ඉන්දීය යාත්‍රා සහ ධීවරයන් නිදහස් කරන ලෙස ඉතා ප්‍රබල ඉල්ලීමක් ඉදිරිපත් වුවත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව අමාත්‍යවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ වසරකට දින 85ක කාලයක් උතුරු මුහුදට පැමිණ මසුන් මැරීමට ඉන්දීය ධීවරයන්ට අවස්ථාවක් සලසා දෙන ලෙස ශ්‍රී ලංකාවේ රජයෙන් කළ ඉල්ලීමට අකමැත්ත පළ කළ බවය.