'මිනිත්තු තිහකට වරක් පොලිස් රැඳවියන් ගැන සටහනක්'

ඡායාරූප මූලාශ්‍රය, Pujith Jayasundara/FB
පොලිස් අත්අඩංගුවේ පසු වන සැකකරුවන් පිළිබඳ සොයා බලා සෑම මිනිත්තු තිහකට වරක්ම සටහන් තැබිය යුතු බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ පුස්සැල්ලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු සිර මැදිරියක් තුළ මිය යෑම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
'සෑම මිනිත්තු තිහකට වරක් සටහන් තැබීම කළ යුතුව තිබෙනවා. සියලුම පොලිස් ස්ථාන තුළ සහ සිරමැදිරිවල ආරක්ෂක කැමරා (CCTV) පද්ධති සවි කිරීම සඳහා අවශ්‍ය නීතිමය පසුබිම බලා, සැලසුම් සකස් කොට, ප්‍රතිපාදන ලබා ගන්න ලෙස මම නියෝග කොට තිබෙනවා,' අමාත්‍ය සාගල රත්නායක පැවසීය.
ඉහත කී සැකකරු පුස්සැල්ලාව පොලිස් ස්ථානයේ සිර මැදිරියක් තුළ ගෙල වැලලාගෙන මරණයට පත් වී ඇති බව වාර්තා විය.
සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අදාළ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවත් පොලිස් නිලධාරීන් විසින් රාජකාරි පැහැර හැරීමක් සිදු කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පැවසීය.
සියලුම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමේ වගකීම පොලිසිය සතු බවත් පොලිසිය භාරයේ සිටින රැඳවියන් සම්බන්ධයෙන් පොලිසියට විශාල වගකීමක් පැවරෙන බවත් ඇමතිවරයා සඳහන් කළේය.








