ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
වරාය නගරය: ක්‍රියාත්මක කළොත් 'දැඩි පියවර'
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය යළි ආරම්භ කළහොත් යහපාලන ආණ්ඩුවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට පරිසර සංවිධාන අනතුරු හඟවති.
වරාය නගර ව්‍යාපෘතිය මැයි මස ආරම්භයේ යළි ආරම්භ කරන බවයි ආණ්ඩුව පවසන්නේ.
පරිසර ඇගයීම් වාර්තා ක්‍රියාවලිය සහ අධිකරණයේ නඩු කීපයක් පැවතීම හේතුවෙන් ඉහත කී ව්‍යාපෘතිය ආරම්භ කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් පෝට්සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ සජීව චාමිකර බීබීසී සංදේශයට කියා සිටියේ.
'මේ කරුණු දෙකට අමතරව ජනතාවගේ විශාල විරෝධයක් පවතිනවා. ඒ වගේම රටේ ආර්ථිකයට, ස්වෛරීභාවයට සහ ජන ජීවිතවලට විශාල බලපෑමක් ඇති වෙනවා' ඔහු සඳහන් කළේය.
එවැනි තත්වයක් යටතේ වත්මන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ජනතා අදහස්වලට පිටුපා ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව සම්බන්ධයෙන් පරිසරවේදියකු වශයෙන් තමන් කනගාටු වන බවත් ඔහු පැවසීය.
'යහපාලන සංකල්ප ක්‍රියාත්මක කරන බවට පොරොන්දු දෙමින් ජනතා ඡන්දයෙන් බලයට පත් රජයක්, රටේ ජනතාවට රටේ නීතිරීතිවලට එකඟ නොවී කටයුතු කිරීම පිළිබඳ කණගාටු වෙනවා' පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් කියා සිටියේය.