ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
ලෝක කුසලානය: ලයනල් මෙසී දැන් පාපන්දු ලොව ශ්‍රේෂ්ඨතමයා ද?
- Author, ෆිල් මැක්නල්ටි
- Role, ප්‍රධාන පාපන්දු ලේඛක, දෝහාහි ලුසේල් ක්‍රීඩාංගනය
ලුසේල් ක්‍රීඩාංගනයේ අඳුරට පතිතවී තිබුණු එකම ආලෝක කදම්බය වෙත ලයනල් මෙසී තනිව පියනැගුවේ ඔහුගේ සාර්ථක වෘත්තිය ජීවිතය පුරා වේදනාකාරී ලෙස ළඟා කරගත නොහැකි වූ එකම ත්‍යාගය අවසානයේ අත්පත් කර ගැනීමට ය.
ආලෝක දහරා සහ ගිනිකෙළි මධ්‍යයේ අවසානයේ ලෝක කුසලානය අහසට එසවීමට පෙර, 'බිෂ්ත්' ලෙස හැඳින්වෙන සම්ප්‍රදායික අරාබි ඇඳුමින් සැරසී 35-හැවිරිදි ආර්ජන්ටිනා පාපන්දු ශූරයා තේජාන්විතව කිරුළු පැළඳීමේ අපේක්ෂාවෙන් සිය දෑත් එකිනෙක පිරිමැද්දේ ය.
මෙසී ඔහුගේ සිහිනය සැබෑකර ගත්තේ ය. ඔහුගේ කුසලාන එකතුව අතර තිබුණු හිඩැස පිරවිණි. එය සම්පූර්ණවූයේ ආර්ජන්ටිනාවේ විශිෂ්ටයා ඔහුගේ අග්‍රඵලය නෙලා ගැනීමට පෙර පැවති උද්වේගකර සහ හදගැස්ම සීඝ්‍රයෙන් වැඩිකළ, නොමියෙන මතකයක්බවට පත්වුණු ඉතිහාසයේ වඩාත්ම දර්ශනීය ලෝක කුසලාන අවසන් තරගයෙන් පසුව ය.
ඔහුට දැන් ඔහුගේ බැලොන් ඩෝර් සම්මාන හත, චැම්පියන් ලීග් සම්මාන හතර, කෝපා ඇමරිකා ජය, බාසිලෝනා සමග දිනූ ලා ලීගා ශූරතා 10 සහ ප්‍රංශයේ පැරීස් සේන්-ජර්මාන් සමග දිනූ ලීග් 1 කිරුළ අතරට ලෝක කුසලානය ද එකතු කළ හැකි ය.
මේ එය යි. මෙසී පාපන්දු ක්‍රීඩාවේ විශිෂ්ටයා බවට තර්ක කිරීමට ඔහුගේ මිලියන සංඛ්‍යාත ආධාරකරුවන් ප්‍රධාන උපාංගය ලෙස භාවිත කරනු ඇති කුසලානය එය යි.
මෙසී ශ්‍රේෂ්ඨතමයායැ යි බොහෝදෙනෙකු පවසන්නට මුල්වෙන, අඟල් 15කට ආසන්න ඝන රත්‍රන්වලින් සැදි කුසලානය මෙය යි - මෙය ප්‍රති-තර්කයන් සහිතව පැමිණෙනවුන්ට අමතර දුෂ්කරතාවක් එක් කළේ ය.
සංසන්දනයන් වැඩෙන්නේ පරම්පරා ගණනක් අතරතුරේ දී ය. එය සියලු තර්කයන්ට වෙනස් රාමුවක් එක් කරන නමුත් ඉරිදා ලුසේල් ක්‍රීඩාංගනයේ බොහෝ ආර්ජන්ටිනා බැනර්වල සිටි පේලේ සහ තවෙකෙකු අයත් විශිෂ්ටයින් සමූහය අතරට මෙසී ද අයත් බව කිසිවෙකුට දැන් ප්‍රතික්ෂේප කළ නොහැකි ය.
ආර්ජන්ටිනාවේ අංක 10 කමිසයට හිමිකම් කී ඔහුගේ පූර්වගාමියා වූ ඩියාගෝ මැරඩෝනා, හොඳම දේ සඳහා නොවැළැක්විය හැකි බලගතු අවස්ථාවක් සලසා දුන්නේ ය. ඔවුන් අතර පැවති වෙනසට ප්‍රධාන කාරණය වූයේ, වසර 36කට පෙර මෙක්සිකෝවේ දී ලැබූ ඔහුගේ ලෝක කුසලාන ජයග්‍රහණය - මෙසී නොලද ජයග්‍රහණය යි. එය දැන් ඉවත් වී ඇත.
ශ්‍රේෂ්ඨයින් ගැන සිදුවන ඕනෑම සංවාදයක මෙසීගේ නම ද සෑම විටම සඳහන් වනු ඇති අතර, ගෝලීය ක්‍රීඩාව විසින් පිරිනමනු ලබන විශාලතම ගෞරවය ඔහුට හිමිවීම දැන් ඔහුගේ කුසලතාවන් පිළිබඳව වඩාත් ප්‍රබල සාකච්ඡාවක් ඇති කරයි.
මෙසී උත්කෘෂ්ටත්වයට පැමිණි ආකාරය පිළිබඳ කතාව කීම අරඹන්නේ කෙසේ ද? අවසානයේ ආර්ජන්ටිනාවේ ලෝක කුසලාන ජයග්‍රහණයට සහ ලයනල් මෙසී යන නාමය ඊට සදාකාලිකව ඈඳාගත් තරගාවලියක උච්චතම අවස්ථාවට හේතුවූ සිදුවීම් විස්තර කරන්නේ කෙසේ ද?
2006 දක්වා දිවෙන ඔහුගේ ලෝක කුසලාන හිත් වේදනාව හා බලාපොරොත්තු සුන්වීම සහ 2014 දී රියෝහි මරකානාහි දී ජර්මනිය හමුවේ අවසන් තරගය පරාජයවීම ඇතුළු ඔහුගේ ඉතිහාසය අනුව, මෙය පහසුවෙන් දිනාගත නොහැකි ගෞරවයක් බව මෙසී දැන සිටිය යුතු ය.
ආර්ජන්ටිනාව සහ මෙසී ඔවුන්ගේ තුන්වන ලෝක කුසලාන ජයග්‍රහණයේ උච්චතම අවස්ථාවට පැමිණීමට පෙර, ලුසේල් ක්‍රීඩාංගනයේ මේ දර්ශනීය රාත්‍රිය බොහෝ දුක් වේදනාවලින් සමන්විතව තිබීම නිසා, ලෝක කුසලාන ජයග්‍රහණය වඩාත් මිහිරි වෙයි.
ඉදිරි වසරවලදී ක්‍රීඩාවේ සැබෑ විශිෂ්ටයා පිළිබඳ ඕනෑම විවාදයකට මෙසී සමග එක් වන 23-හැවිරිදි තරුණයා වන ප්‍රංශයේ කිලියන් එම්බප්පේගේ [ඔහු දැනටමත් එහි නොමැති නම්] ප්‍රභාව හමුවේ ඒ සියල්ල සිදුකෙරිණි.
මෙසීගේ රාජාභිෂේකය සඳහා ප්‍රංශය රතු පලස එලන බව පෙනෙන්නට තිබුණේ, විනාඩි 80ක කාලය තුළ ඔවුන්ගෙන් තර්ජන එල්ලවූයේ මඳ වශයෙන් වන බැවිනි. ලෝක කුසලාන ඉතිහාසයේ එක් තරගාවලියක දී මූලික අදියර, පිළිමළුන් පිටුදැකීමේ අදියර, අර්ධ අවසන් පූර්ව තරගය, අවසන් පූර්ව තරගය සහ අවසන් තරගයේ ලකුණු රැස් කළ පළමු ක්‍රීඩකයා බවට පත්වෙමින්, දඩුවම් පහරින් ආර්ජන්ටිනාවේ ආරම්භක ගෝලය ලබාගැනීමත් සමග ලුසේල් මෙසීගේ ක්‍රීඩාපිටිය බවට පත්විය.
මෙසී පසුව ඒන්ජල් ඩි මරියාට දෙවන ගෝලය ලබා ගැනීමට සහාය දුන් අතර, තමන් දැඩි අපේක්ෂාවෙන් බලා සිටි එම්බප්පේ හා සටන සිත් ඇදගන්නාසුළු ලෙස ඇරඹෙන තෙක් සුපුරුදු පරිදි ආර්ජන්ටිනාවේ රසිකයෝ සැමරුම් සිදුකළහ.
තරගාවසානයට මිනිත්තු 10ක් ඉතිරිව තිබිය දී එම්බප්පේ ඔහු සිටි ස්ථානය වෙනස් කළ අතර, තත්පර කිහිපයකට පසු ප්‍රබල පා පහරක් එල්ල කරමින් ගෝලයක් වාර්තා කළේ ය. ක්‍රීඩාංගනයේ සෑම අස්සක් මුල්ලක් නෑරම පුළුල් තිර පුරා විහිදුණු මෙසීගේ සිනහව "ආයෙත්?" යැ යි හැඟවුණු අන්දමේ අවිශ්වාසයේ එකකි.
ආර්ජන්ටිනාවේ පුහුණුකරු ලයනල් ස්කලෝනි, ජූල්ස් කුණ්ඩේ වෙහෙසට පත්කළ 34-හැවිරිදි ඩි මරියා දක්ෂ කණ්ඩායමට ඇතුළත් කිරීමෙන් විශිෂ්ට තේරීම් උපායක් භාවිත කළත්, මිනිත්තු 64කට පසු ඔහු ඔහුගේ ස්ථානයෙන් ඉවත්කර මාකෝස් අකුනාට ඉඩ ලබාදීමෙන් මාරාන්තික ගතානුගතිකත්වයට මඟ පෑදීය.
මෙසී, ඇත්ත වශයෙන්ම, අතිරේක කාලය තුළ දී ඔහුගේ දෙවන ගෝලය ලබා ගනිමින් ආර්ජන්ටිනාව ඉදිරියට ගෙන ආ නමුත්, පෙර පැවති දුර්වල තත්ත්වයෙන් නැවත උද්‍යෝගීමත් වූ ප්‍රංශය එම්බප්පේගේ දඬුවම් පහර හරහා නැවතත් සම තත්ත්වයට පත්විය.
ලොටාරෝ මාටිනෙස්ට අනෙක් අන්තයේ අනාරක්ෂිත ගෝලයක් වෙත එල්ල කිරීමට තවමත් කාලය තිබුණ ද, අති උද්වේගකර වාතාවරණයක් තුළ ආර්ජන්ටිනාවේ පන්දු රකින්නා වන එමිලියානෝ මාටිනෙස් අවසන් තත්පර කිහිපයේ දී සිය පාදයෙන් ඔහු අත රැඳි ලෝක කුසලානය රැන්ඩල් කෝලෝ මුආනිගෙන් ගලවාගත්තේ ය.
ලබාදුන් අමතර කාලය අධික පීඩනයක් ගෙන ආබව පැවසීම අවතක්සේරු කිරීමක් නොවනු ඇත. ආතතිය දරාගත නොහැකිවූ ඇතැම් රසිකයින්, එම මොහොත නැරඹීමට අවශ්‍යවුවත් ඉවත බලා සිටිනු දක්නට ලැබුණි.
විශාල ආතතියත් සමග ආර්ජන්ටිනාවට 4-2 ක් ලෙස ජයග්‍රහණය හිමිකර දෙමින්, තරගයක ජය-පරාජය විසඳීමේ වේදනාකාරී ක්‍රමයක් වූ දඬුවම් පහර වෙත තරගය ගිය අතර, දැන් ලෝක කුසලානය පිළිබඳව සාකච්ඡා කරන සෑම විටම එය කතාබහට ලක්වනු ඇත.
ගොන්සාලෝ මොන්ටියෙල් තීරණාත්මක පහර වාර්තා කරන විට මෙසී මැද කවය තුළ කඳුළු පිරි දෑසින් යුතුවා දණින් වැටී, ලා නිල් සහ සුදු ඉරි සහිත කමිස රැසකින් යටවී, සැඟවී යාමට පෙර දෑත් ස්වර්ගය වෙත දිගු කළේ ය.
අනතුරුව ඔහු මහා සැමරුම් මධ්‍යයේ ආර්ජන්ටිනාවේ ආධාරකරුවන් ඇමතීමට මයික්‍රෆෝනයක් අතට ගත්තේ ය.
මෙසී තරගාවලියේ හොඳම ක්‍රීඩකයාට පිරිනැමෙන රන් පන්දුව දිනා ගත්තේ, 1982 දී හඳුන්වාදීමෙන් පසු එය දෙවරක් දිනාගත් පළමු ක්‍රීඩකයා බවට පත් වෙමිනි. ඔහු එය 2014 දී ද දිනාගත්තේ ය.
ගෝල 13ක් සහ සහායවීම් 8ක් ලෙස ඔහු ලෝක කුසලාන තරගවල දී ආර්ජන්ටිනාව වෙනුවෙන් ගෝල 21ක් ලබා ගෙන ඇත - එය රටක් වෙනුවෙන් ක්‍රීඩකයෙකු ගෝල ලබාගත් වැඩිම වාර ගණන යි. මෙවර ලෝක කුසලාන අවසන් තරගයේ දී ලබාගත් ගෝල සමග ඔහුගේ වෘත්තිය ජීවිතය තුළ ලබාගත් ගෝල ගණන 793කි. මෙම පිරිමි ලෝක කුසලාන තරගාවලියේ සෑම වටයක දීම ගෝල රැස්කළ පළමු ක්‍රීඩකයා ද ඔහු විය.
මෙම රාත්‍රියේ අනෙක් සියල්ලටම වඩා වැදගත් වූ එක් කරුණක් විය: ඒ, අවසානයේ මෙසී ලෝක කුසලාන ජයග්‍රාහකයෙකු වීම යි.
තම කණ්ඩායම සමග ලෝක කුසලානය ලබාගත් අටේ ඉලක්කම හැඩැති වේදිකාවේ ඔහු අසුන්ගෙන සිටියේ, අවසානයේ ඔහුගේ කුසලාන කැබිනට්ටුවේ ඇති එම ඉඩ පුරවාගත හැකි බවට වන සැනසිලිදායක හැඟීමකිනි. වේදිකාව පසුව ආර්ජන්ටිනා කණ්ඩායමේ මිතුරන් සහ පවුලේ අයගෙන් පිරීගිය අතර, 1986න් පසු පළමු වරට ඔවුන්ගේ රට දැන් පාපන්දු ලෝකයේ ඉහළින්ම සිටියි.
ආර්ජන්ටිනාවේ ආධාරකරුවෝ පැයකට වැඩි කාලයක් තම ආසනවල රැඳී සිටිමින්, ඔවුන්ගේ ලෝක කුසලාන ව්‍යාපාරයේ තේමා ගී රැස සහිත ගීත පොත පෙරලමින්, ඔවුහු විශ්වාසය තැබූ පුද්ගලයාට උපහාර පුදකළහ.
ආරම්භයේ දී සෞදි අරාබියට පරාජයවීමෙන් ලද ප්‍රබල කම්පනය බොහෝදුර බව දැනිණි. මෙක්සිකෝවට එරෙහිව විශිෂ්ට ගෝලයක් ලබා ගනිමින් ආර්ජන්ටිනාවේ ලෝක කුසලානය සාර්ථකකර ගත්තේ මෙසී වන අතර, ඔහු එය අවසානය දක්වා ගෙනයෑම නොවැළැක්විය හැකිවිය.
මෙසී අත රන් කුසලානය තිබිණි. එය සාර්ථකව නිම කරන ලද මෙහෙයුමකි. එය, ජර්මනියේ දී සර්බියාව සහ මොන්ටිනිග්‍රෝවට එරෙහිව 6-0ක ජයග්‍රහණයක දී ලකුණු ලබා ගැනීමේ ආදේශකයෙකු ලෙස පැමිණීමට වසර 16කට වඩා ඈතට දිව යන මෙහෙයුමකි.
උඩුයටිකුරුවීම්වලින් පිරී තිබුණු මෙසීගේ ලෝක කුසලාන කතාවේ අවසාන පරිච්ඡේදය, පළමු තරගයේ සිට ප්‍රංශයට එරෙහිව පැවති අවසාන තරගය දක්වා ත්‍රාසජනක විය. එය කටාර්හි කිසි දා අමතක නොවන රාත්‍රියක පරිපූර්ණ අවසානයක් ලබාදුන්නේ ය.