ලෝක කුසලානය 2022: අමෙරිකානු ක්‍රීඩා මාධ්‍යවේදී ග්‍රාන්ට් වෝල් කටාර්හි දී ජීවිතක්ෂයට

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජේම්ස් ග්‍රෙගරි
- Role, බීබීසී පුවත්
ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකට පාපන්දු මාධ්‍යවේදියෙකු කටාර්හි පැවැත්වෙන ලෝක කුසලානය වාර්තා කරමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව තිබේ.
සිකුරාදා රාත්‍රියේ (දෙසැම්බර් 9) ආර්ජන්ටිනා-නෙදර්ලන්ත තරගයේ අමතර කාලය ආරම්භවීමත් සමග 48 හැවිරිදි ග්‍රාන්ට් වෝල් සිහිසුන්ව ඇද වැටී ඇත.
ඔහුට හෘදයාබාධයක් වැළඳී තිබෙන්නට ඇතිබවට මුලින් නිකුත් වුණු වාර්තා සඳහන් කරන නමුත් එය තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.
LGBT අයිතීන් වෙනුවෙන් දේදුණු පාට කමිසයකින් සැරසී ක්‍රීඩාංගනයකට ඇතුළුවීමට උත්සහ කිරීම හේතුවෙන් කටාර් බලධාරීන් විසින් පසුගිය මාසයේ දී වෝල් කෙටි කාලයකට රඳවා ගනු ලැබීය.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපද පාපන්දු සම්මේලනය පැවසුවේ, මෙම ප්‍රවෘත්තියෙන් තමන්ගේ "හද කම්පා වූ" බව ය.
"පාපන්දු සහ ඉහළ ගුණාත්මකභාවයකින් යුත් මාධ්‍යකරණයේ රසිකයින් දැන සිටියා අපගේ ක්‍රීඩාව සහ එහි ශූරයින් පිළිබඳව නිවැරදි, පුළුල් අවබෝධයක් සහිත සහ විනෝදාත්මක කතා ලබාදීම සම්බන්ධයෙන් අපට ග්‍රාන්ට් මත විශ්වාසය තබාගත හැකි බව," එය පැවසීය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් වෝල්ගේ බිරිඳ, සෙලීන් ගෞන්ඩර් ප්‍රකාශ කර තිබුණේ, ඇය "මහත් කම්පනයෙන්" පසුවන බවත් මිතුරන්ගෙන් ලැබුණු සහයෝගයට "ඉතා ස්තුතිවන්ත වන" බවත් ය.
සිහිසුන්ව ඇද වැටීමට දිනකට පෙර කටාර්හි මිතුරන් සමග බ්‍රහස්පතින්දා වෝල් සිය 48 වන උපන්දිනය සැමරීය. ඔහු සඳුදා සිය වෙබ් අඩවියේ ලියුවේ, තමන් පසුගිය දින 10 තුළ අසනීපයෙන් සිටි බවත් බ්‍රොන්කයිටිස් බවට සැකකර ඒ සඳහා ප්‍රතිජීවක ඖෂධ ලබාගනිමින් සිටිනබවත් ය.
"මම අවසානයේ අසනීප වුණා," ඔහු ලියුවේ ය. "පසුගිය දින 10 පුරා පැවති සෙම්ප්‍රතිශ්‍යාව, අමෙරිකා-නෙදර්ලන්ත තරගය පැවති රාත්‍රියේ වඩා උග්‍ර තත්ත්වයකට හැරුණු අතර, මගේ පපුවේ ඉහළ ප්‍රදේශයේ තදබල පීඩනයක් සහ අපහසුතාවක් ඇතිවන බව මට දැනුනා."
"මට කොවිඩ් තිබුණේ නැහැ (මම මෙහේදි නිතරම පරීක්ෂා කරනවා), නමුත් මම අද වෛද්‍ය සායනයට සහ ප්‍රධාන මාධ්‍ය මධ්‍යස්ථානයට ගියාට පස්සේ ඔවුන් කීවේ පේන විදිහට මට බ්‍රොන්කයිටිස් ඇතිබව යි."
FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පැවසුවේ, පාපන්දු සඳහා පැවති වෝල්ගේ ආදරය "අපරිමිත" වූ බවත් ඔහුගේ වාර්තාකරණය "ගෝලීය ක්‍රීඩාව නරඹන සියල්ලන්ටම මඟහැරෙනු ඇති" බවත් ය.
එක්සත් රාජධානියේ ඉහළ පෙළේ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුගෙන් උපහාර ගලාවිත් ඇත.
වෝල්ගේ වියෝව ලොව පුරා මාධ්‍ය ක්‍ෂේත්‍රයට සහ පාපන්දු සඳහා "බලාපොරොත්තු සුන් වූ මොහොතක්" නියෝජනය කරන බව ද ටයිම්ස් පුවත්පතේ ප්‍රධාන පාපන්දු ලේඛක හෙන්රි වින්ටර් බීබීසී පුවත් සේවයට පැවසුවේ ය.
"යමෙකුට ග්‍රාන්ට් මුණගැසෙන පළමු අවස්ථාවේ දී ඒ තැනැත්තා වශීකර ගැනීමේ හැකියාවක් ඔහුට තිබුණා," ඔහු පැවසීය. "ඔහු ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මක් දැක්වූවා, ක්‍ෂේත්‍රය කෙරෙහිත් දැඩි ඇල්මක් දැක්වූවා.
"ඔහු එක්සත් ජනපදයේ පාපන්දු ක්‍රීඩාව ප්‍රවර්ධනය කළා - ඔහුගේ ඇල්ම, ඔහුගේ ලිවීම, සිය මව්බිම තුළ ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට තිබුණු දැඩි උද්යෝගය සහ පිරිමි ජාතික කණ්ඩායම හා කාන්තා ජාතික කණ්ඩායම වෙත දක්වන ලද සහය තවත් වසර හතරක කාලයකින් ඔවුන් ලෝක කුසලානයේ වඩාත් හොඳ සත්කාරකයින්වීමට බොහෝවිට එක් හේතුවක් විය හැකියි."
2011 වසරේ දී FIFA සභාපතිධූරය වෙනුවෙන් තරග කිරීම සඳහා වූ සිය සැලසුම් පිළිබඳව [එය අවසානයේ ඉල්ලා අස්කර ගන්නා ලදී] වෝල් කතා කළ අයුරු වින්ටර් බීබීසීයට පැවසීය.
බීබීසී ක්‍රීඩා අංශයේ ඩෑන් රෝන් ට්විටර් පණිවිඩයක් නිකුත් කළේ ය: "ග්‍රාන්ට් වෝල් කීර්තිමත් සහ අතිශයින් ගෞරවාදරයට පාත්‍ර වූ මාධ්‍යවේදියෙකු වූ අතර, ගලා එන උපහාර ඔහු ලද ගෞරවය පිළිබඳ සාක්ෂියක්."
මේජර් ලීග් පාපන්දු කොමසාරිස් ඩොන් ගාබර් ට්විටර් පණිවිඩයක් නිකුත් කළේ ය: "ග්‍රාන්ට් වෝල්ගේ ඛේදජනක වියෝව ගැන අපි කම්පනයට, ශෝකයට සහ හද කම්පාවට පත්වෙමු. කරුණාවන්ත සහ දයාබර පුද්ගලයෙකු වූ ඔහුගේ පාපන්දු කෙරෙහි වූ ඇල්ම සහ ජනමාධ්‍යවේදය සඳහා වූ කැපවීම මැනිය නොහැකි යි."
ඔහු "LGBTQ ප්‍රජාව වෙනුවෙන් පෙනී සිටින අයෙකු සහ කාන්තා පාපන්දු සඳහා ප්‍රමුඛ හඬක් නැගූ අයෙකු" ලෙස විස්තර කරමින් එක්සත් ජනපද ප්‍රවීණ ටෙනිස් ක්‍රීඩකාවක වූ බිලී ජීන් කිංග් ද වෝල්ට උපහාර දැක්වීය.
"එක්සත් ජනපද මාධ්‍යවේදී ග්‍රාන්ට් වෝල්ගේ අභාවය ගැන අපි බලවත් ශෝකයට පත් වෙමු," ලෝක කුසලානය සැලසුම් කිරීමේ වගකීම භාර කටාර් ආයතනය වන Supreme Committee for Delivery & Legacyහි ප්‍රකාශකයෙක් පැවසීය.
"පාපන්දු ක්‍රීඩාවට තිබුණු දැඩි ආදරය සඳහා ග්‍රාන්ට් ප්‍රසිද්ධියට පත්වූ අතර සිය අටවන ෆිෆා ලෝක කුසලානය ආවරණය කිරීම සඳහා කටාර් වෙත පැමිණ සිටියේ ය.
"ඔහු ඊයේ රාත්‍රියේ ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගය අතරතුර (දෙසැම්බර් 9) දී ලුසේල් ක්‍රීඩාංගනයේ මාධ්‍ය කුටියේ දී අසනීප විය. ඔහුට එම ස්ථානයේදීම හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් අතර, ගිලන් රථයකින් ඔහු හමාඩ් මහ රෝහල වෙත මාරුකර යවන විටත් දිගටම ප්‍රතිකාර ලබාදීම සිදුවිය.
"මෘත දේහය ආපසු ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය පවුලේ අයගේ කැමැත්තට අනුකූලව සිදුවන බව සහතික කිරීම සඳහා අපි එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ අදාළ දේශීය බලධාරීන් සමග සම්බන්ධ වී සිටිමු."
අඛණ්ඩව ලෝක කුසලාන අටක් [ඔහුගේ පළමුවැන්න 1994 වසරේ දී එක්සත් ජනපදයේ දී ය] වාර්තා කිරීම වෙනුවෙන් බ්‍රසීලයේ අසමසම පාපන්දු ක්‍රීඩකයෙකු වන වන රොනාල්ඩෝ විසින් වෝල්ට මෙම සතිය මුල දී සම්මානයක් පිරිනමන ලදී.










