වසර 92ක පුරුෂ ලෝක ශූරතා ඉතිහාසයේ පළමු කාන්තා තීරකයින් : මේ කාන්තාවන් කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රුවන්ඩාවේ සලීමා මුකන්සංගා ලෝක කුසලාන තරගාවලියේ තීරකවරියක ලෙස පත්වීමට සමත්ව ඇති අතර, එම අපේක්ෂාවම ඇති අප්‍රිකානු කාන්තා නිලධාරිනියන්ට මෙය මහඟු ආරම්භයක් වනු ඇතැ යි ඇය සිතයි. පුරුෂ ලෝක කුසලාන තරගාවලියේ වසර 92ක තරග ඉතිහාසය තුළ ප්‍රථම වරට තීරකවරියක පත්වූ අවස්ථාව යි මේ.
පසුගිය වසරේ ටෝකියෝහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ තීරකවරියක ලෙස කටයුතු කළ ඇය, 1958 තරම් දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන අප්‍රිකානු කුසලාන පිරිමි තරගාවලියේ තරගයක පාලනය භාරගත් පළමු කාන්තාවබවට පත්වූයේ මේ වසර මුල දී ය.
තිස්හතර හැවිරිදි ඇය පුරෝගාමී කාන්තාවන් සයදෙනෙකුගෙන් අයෙකි. සෙසු තීරකයින් වන ස්ටෙෆනි ෆ්‍රැපර්ට් සහ යොෂිමි යමෂිටා ද, සහකාර තීරකවරියන් තිදෙනෙකුගෙන් ද මේ සයදෙනා සමන්විත ය. මේ සමග අන්තර්ජාතික පුරුෂ තරගාවලි සඳහා කාන්තාවන්ට වැඩි අවස්ථා නිර්මාණය වනු ඇතැ යි ඇය අපේක්ෂා කරයි.
"ඒක ගෞරවයක් සහ වරප්‍රසාදයක්, මොකද මීට කලින් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නැහැ," මුකන්සංගා BBC ස්පෝර්ට් ඇෆ්‍රිකා වෙත පැවසුවා ය.
"ඔයා එතනට ගියා කියන්නේ ඔයා පළමුවැනියා, අනිත් කාන්තාවන්ටත්, විශේෂයෙන් අප්‍රිකානු කාන්තාවන්ටත් දොරටු විවරවෙනවා කියන එක.
"ඔයාගේ කර උඩට ලොකු බරක් එනවා. ඔයා ඒ බර කරගහගෙන යන්නත් ඕන. තමන් වැඩේ හරියට කළොත්, අනිත් අයටත් ඇතුළට එන්න අවස්ථාව ලැබෙනවා.
"අවස්ථාවන් ඕනෑ තරම් තියෙනවා කියලයි ඒකෙන් අදහස්වෙන්නේ. අපි කරන්න ඕන ඒවා භාරගෙන ඵලදායීව ඉටු කරන එකයි."
2012 වසරේ සිට FIFAහි තීරකවරියක වන මුකන්සංගා මෙතැනට පැමිණ සිටින්නේ දිවියේ මුල් කාලය තුළ ප්‍රතික්ෂේප කිරීම් රැසකට මුහුණදීමෙන් පසුව ය.
මුල්කාලීන ප්‍රතික්ෂේපවීම්
ඇය තරුණ ගැහැණු ළමයෙකු ලෙස වයස අවුරුදු 17න් පහළ ජාතික පැසිපන්දු කණ්ඩායමකට එක්වීමට උත්සාහ කරද්දී, ඇය නිසි වයස සපුරා නොමැතිබව පවසා ප්‍රතික්ෂේපවීමෙන් පසු ඇය පාපන්දු ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කළා ය. එය ඇය තුළ ගිනි පුලිඟුවක් දැල්වූ ක්‍රීඩාවක්බවට පත්විය.
"තරග බලන්න ගියාම මම දැක්කා 'රෙෆරි' කියලා කට්ටියක් පිටිය ඇතුළෙ ඉන්නවා," ඇය ජනවාරි මාසයේ නේෂන්ස් කුසලාන තරගාවලියේ දී පැහැදිලි කළාය.
"එයාලට ක්‍රීඩා පිටියේ තීරණගන්න සහ සියල්ල වෙනස් කරන්න පුළුවන්. ඒකෙන් මම උද්යෝගිමත් වුණා. ඒ මොහොතේ ඉඳලාම මම ඒ අය ගැන සිතන්නට පටන් ගත්තා. එතකොට මම හිටියේ ප්‍රාථමික පන්තියක"
ඇය ද්විතීයික පාසලේ සිටිය දී තීරකවරියක ලෙස කටයුතු කිරීමට පටන් ගත්තා ය. එය ඉක්මණින් ඉගෙනීමට ඇය සමත්විය.
"මම දැනගෙන හිටියේ නෑ අනුගමනය කරන්න ඕන නීති, විශේෂ මනෝභාවයක්, වෘත්තීයභාවය වගේ කරන්න ගොඩක් දේවල් තියෙනවා කියලා. නමුත් මම පියවරෙන් පියවර ඉගෙනගන්න පටන්ගත්තා.
"ඒක ගොඩක් අමාරු වුණා. ක්‍රීඩාවේ නීති කියවනකොට ඒක තේරුම් ගන්න ලේසි වුණාට, ක්‍රීඩා පිටියෙ දි අත්දැකීම් ලබාගන්න කාලය යනවා."
ඇය කෙටි කලක් ආධුනික පාපන්දු ක්‍රීඩිකාවක ලෙස ක්‍රීඩා කළ අතර, එකල තීරකවරුන් පුහුණු කරනාබවට වන දැන්වීමක් ඇගේ ඇස ගැටුණි. නමුත් ද්විතීයික පාසලෙන් ඍජුවම තීරකවරුන්ගේ පාඨමාලාවට සම්බන්ධවීම සඳහා රුවන්ඩා FA (Ferwafa/රුවන්ඩා පාපන්දු සම්මේලනය) හා සම්බන්ධවූ විට, ඇගේ වයස මඳබව කියමින් ඇය නැවතත් ප්‍රතික්ෂේප විය.
එනිසා මේ මෘදු හඬින් කතාබහ කරන නමුත් අධිෂ්ඨානශීලී තැනැත්තිය ඉන්පසු තනිවම FIFA හි පාපන්දු නීතිරීති උගත් අතර, අවසානයේ ඇගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵල ලෙස Ferwafa වෙතින් අනෙකුත් තීරකයින් සමග එක්ව ඉගෙනීමට පවා ඇයට අවස්ථාවක් ලැබුණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මුකන්සංගාගේ ජයග්‍රාහී ගමන්මඟ රුවන්ඩාවේ පිරිමි ලීග් තරග විනිශ්චය කිරීමේ සිට 2016 කාන්තා ජාතීන්ගේ කුසලානය, 2019 කාන්තා ලෝක කුසලානය, සහ ටෝකියෝ ඔලිම්පික් දක්වා වැටුණි.
ජනවාරි 18 වෙනිදා, සිම්බාබ්වේ කණ්ඩායම ගිනියාවට එරෙහිව ජයග්‍රහණය කළ කැමරූන්හි පැවති ජාතික පිරිමි කුසලානය ඇයට විශාල සන්ධිස්ථානයක් විය. මුකන්සංගා එහිදී කහ කාඩ්පත් හයක් ලබාදීමත්, කලහකාරී ක්‍රීඩකයින් වෙන්කිරීමත් ඇතුළුව තම දස්කම් මොනවට විදහාපෑවා ය.
"අන්තිම විස්ල් එකෙන් පස්සේ, මම ඇත්තටම හැඟීම්බර වුණා. මම ගොඩක්, ගොඩක් සතුටු වුණා," ඇය එම අවස්ථාවේ වාර්තාකරුවන්ට පැවසුවාය.
"මම ක්‍රීඩා පිටිය තුළ තනිවුණේ නැහැ. මගේ සගයින්ගෙන් ලැබුණු ඒ හැඟීම නිසා මට සතුටක් දැණුනා. මොකද, ක්‍රීඩාව සුමටව ගිය වගේම අපි ඉතිහාසයට එකතුවුණා.
"අපිට මෙතන උරුම යි. අපිට පසුබිමක් තියෙනවා. ඒ පසුබිම ආවේ ආසාව සහ මහන්සිය එක්ක. ඒකෙ ඵලය තමයි මේ."
එම මිහිරි ජයග්‍රහණය ලැබීමට පෙර වසර ගණනක් පුරාවට බාධක රැසක් ජයගැනීමට ඇයට සිදුවිය.
වැදගත් සන්ධිස්ථානයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
තීරකවරියක වීම එකම වෘත්තිය කරගත් මුකන්සංගා, ලිංගික හා සංස්කෘතික වෙනස්කම්වල සිට මූලික ජීව විද්‍යාත්මක වෙනස්කම් දක්වා මුහුණදුන් අභියෝග කිහිපයක් විය.
"අපිට ඔසප් වෙනවා, එතකොට සමහර වෙලාවට දුවන්නවත්, තීරක රැකියාව කරන්නවත් බැහැ" ඇය පවසයි.
"ගර්භණී වුණොත් ඒත් දුවන්න බැහැ. දරු උපතට පස්සේ ශරීරය යථා තත්ත්වයට පත්වෙන්න, ඊළඟ වතාව සඳහා නැවත ශරීරය සූදානම් වෙන්න කාලය අවශ් යයි.
"පිරිමින්ගේ වේගය ඉහළ මට්ටමක පවතින නිසා සමහර විට මට පිරිමින් මෙන් දුවන්න බැහැ, නමුත් මට තවත් දේවල් කරන්න පුළුවන්, අඩුම තරමින් එකම වේගයක් පවත්වා ගන්න, ක්‍රීඩකයන් සමග සමීපව ඉන්නට සහ හොඳ දෘෂ්ටි කෝණයක් ඇති කරගන්න එක වගේ දේවල් මට කරන්න පුළුවන්."
ඇය පුහුණු සැසි සහ යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වෙන්නේ පුරුෂයින් හා වන අතර, තමාට ලැබුණු පුහුණුව සම්බන්ධයෙන් මුකන්සංගා Fifa සහ අප්‍රිකානු පාපන්දු සම්මේලනය (Caf) වෙත කෘතඥතාව පුදයි.
ඇයට මුල දී පුරුෂ තරගවල දී වැඩි ප්‍රසාදයක් නොලැබුණ ද, පිටියේ දී වේගවත් තීරණ ගන්නා ඇය එම රැකියා අභියෝගවලට නොබියව මුහුණ දුන්නා ය.
"පිරිමි ආධිපත්‍යයත් තියෙන ක්ෂේත්‍රයක, ඔබට දෙගුණයෙන් වැඩ කරන්න වෙනවා. ඒකට ආශාව ඇති කරගන්න වෙනවා. මොකද ආශාව නැතිවුණොත් ඔබ වෙහෙසට පත්වෙනවා, අන්තිමට අත්හැරලා දානවා," ඇය පැහැදිලි කළා ය.
"අපි අතෑරලා දාන්න අවශ්‍ය නැහැ. දිගටම වැඩ කරගෙන ඉදිරියට ගිහින් සාර්ථක වෙලා එකට සටන්න කරන්නයි ඕන."
Cafහි ප්‍රධාන තීරක උපදේශක ජෙරම් ඩේමන් විශ්වාස කරන්නේ මුකන්සංගා ඇයගේ තනතුර මහන්සියෙන් උපයාගෙන ඇතිබව යි.
"ඒක විස්මිත සන්ධිස්ථානයක්. ජ්‍යෙෂ්ඨ පිරිමි ලෝක කුසලානයකට සහ ජ්‍යෙෂ්ඨ කාන්තා ලෝක කුසලානයකට යාමට හැකි කිහිප දෙනාගෙන් එක් අයෙකු බවට පත්වීමට තරම් සුවිශේෂී ස්ථානයක ඇය ඉන්නවා," ඩේමන් පැවසීය.
"මීට කලින් එහෙම වෙලා නැහැ. ඒකෙන් පේනවා අප්‍රිකාව තීරක කටයුතුවලින් සහ දියුණුව අතින් ඉන්න තැන."
කාන්තාවන්ට අතදීමෙන් ලැබෙන ඵල බොහෝයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මේ වසර මුල දී Fifa පැවසුවේ, කටාර්හි පැවැත්වෙන පිරිමි ලෝක කුසලානය සඳහා කාන්තා නිලධාරීන් පත්කිරීමේ දී "දිගු ක්‍රියාවලියක්" අනුගමනය කිරීමට සිදුවූ බව යි.
"අපට වැදගත් වන්නේ ගුණාත්මකභාවය මිස ස්ත්‍රීපුරුෂභාවය නොවේ," Fifaහි තීරක කමිටුවේ සභාපති පියේර්ලුයිජි කොලීනා තවදුරටත් පැවසීය.
"ඉදිරියේ දී වැදගත් පිරිමි තරග සඳහා ඉහළ පෙළේ තරග නිලධාරිනියන් තෝරාගැනීම සාමාන්‍ය දෙයක් වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා.
"එයාලා ලෝක කුසලානයකට සුදුසුකම් ලබන්නේ එයාලාගේ හැකියාව ඉහළ මට්ටමක තියෙන නිසා."
කටාර්හි දී මුකන්සංගා ප්‍රංශයේ ෆ්‍රැපර්ට්, ජපානයේ යමශිතා මෙන්ම, සහය තීරකවරියන් වන බ්‍රසීලයේ නෙයූසා බැක්, මෙක්සිකෝවේ කැරන් ඩියාස් මෙඩීනා, සහ එක්සත් ජනපදයේ කැත්‍රින් නෙස්බිට් සමග එක්වනු ඇත.
"අපි කාන්තාවන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් එකට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා," මුකන්සංගා පැවසීය.
"කාන්තාවක් වෙනත් කාන්තාවකට සහයෝගය දක්වන්නේ නම්, ඇත්ත වශයෙන්ම ඔබට හොඳ ප්‍රතිඵල ලැබෙනවා.
"බාධක, කම්කටොළු සහ අභියෝග තියෙනවා. ඒවාට ශක්තිමත් මානසිකත්වයෙන්, කැපවීමෙන් සහ පූර්ණ කැපවීමෙන් සටන් කරන්න ඕන. එතකොට අපිට ජය ලැබෙනවා."
පාපන්දු ලොව විශාලතම තරගාවලිය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුවී ඇති බැවින් ඇයට ලැබෙන වගකීමේ භාරදූරබව ගැන මුකන්සංගා දනියි.
"මිනිස්සු කවදාවත් අපි ගැන සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඉතින් තමන්ගේ සීමාව තුළ කරන්න පුළුවන් දේ කරන්න. ක්‍රීඩාවේ නීති තුළ, ක්‍රීඩාවට අවශ්‍ය සේවය ඉටු කරන්න.
"අන්න එතකොට, අන්තිමට හැමෝම කියාවි 'ඔව්, එයා හරි' කියලා."
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post









