පොදු රද මඬුලු ක්‍රීඩා උළෙලට ගිය 10 ක් බ්‍රිතාන්‍යයේදී අතුරුදහන් වීමට හේතූව ආර්ථික අර්බුදයද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බර්මින්හැම් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩා සංචිතයේ සාමාජිකයින් දස දෙනෙකු මේ වන විට බ්‍රිතාන්‍යයේ තමන් නවාතැන්ගෙන සිටි ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදහන් වී ඇති බවට ජාතික ඔලිම්පික් කමිටුවේ ඉහළ නිලධාරියෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනෙකු සහ කළමනාකරුවෙකු ඔවුන්ගේ ඉසව් අවසන් කිරීමෙන් පසු එසේ එම ක්‍රීඩා ගම්මානවලින් අතුරුදහන් වූ බව නම හෙළිකිරීමට අකමැතිවූ එම නිලධාරියා පැවසීය.ජූඩෝ ක්‍රීඩිකා චමිලා ඩිලානි, ඇයගේ කළමනාකරු අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩක ශානිත් චතුරංග පසුගිය සතියේ අතුරුදහන් වූවන් අතර සිටින බවට මේ වන විට හෙළිවී ඇති අතර අනෙක් හත්දෙනාගේ නම් මේ වන විටත් හෙළිවී නොමැත.
අදාළ නිලධාරියා බීබීසී සිංහල පැවසුවේ ශ්‍රී ලංකා නිලධාරීන්ට නොදන්වා තමන් රැඳී සිටි ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදහන්වීම පිළිබඳව ශ්‍රී ලංකා නිලධාරීන් එරට පොලිසියට පැමිණිලි කර ඇති බවයි.160 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයින් මාස හයක විසා ඇතිව බ්‍රිතාන්‍යට ඇතුළුවී ඇති අතර පළමු සාමාජිකයින් තිදෙනා අතුරුදන්වීමත් සමඟ ශ්‍රී ලංකා කළමනාකාරීත්වය සියලුම සාමාජිකයින්ගේ විදේශ ගමන් බලපත්‍ර හා ඔවුන්ගේ වටිනා ද්‍රව්‍ය තම භාරයට ගෙන ඇති නමුත් ඔවුන් කණ්ඩායමෙන් පළායාම වැළැක්වීමට අපොහොසත් වී ඇත.
බ්‍රිතාන්‍ය පොලිසිය අතුරුදන් වූ පළමු තිදෙනා සොයා ගත් නමුත් ඔවුන් එරට දේශීය නීති උල්ලංඝණය නොකළ නිසාත් ඔවුන්ට මාස හයක් වලංගු වීසා බලපත්‍ර ඇති නිසාත් ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගත් බව එරට පොලීසිය පැවසූ බවට එම නිලධාරියා පැවසීය.
ඔහු පැවසුවේ එම තිදෙනා ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් කරදරයකින් තොරව සිටින බවට පොලීසය තමන්ට දැනුම් දුන්නත් ඔවුන් සිටින ස්ථානය පිළිබඳව පොලිසිය නොපැවසූ බවයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ සියලුම සාමාජිකයින්ට මාස හයකට වලංගු විසා ඇති නිසාත් ඔවුන් සියලුදෙනා වයස 18 ට වැඩි වැඩිහිටියන් නිසාත් ඔවුන්ට තමන් පිළිබඳව තීරණ ගැනීමේ හැකියාවක් ඇති නිසා ශ්‍රී ලංකා බලධාරීන්ට ඔවුන්ව කුඩා ළමුන්සේ සේ සළකා කටයුතු කළ නොහැකි බවයි.
මේ වන විට රටේ උද්ගතව ඇති ආර්ථික අර්බූදය හමුවේ මෙරටින් පිටවීමට විශාල පිරිසක් උත්සාහ කරන බව විමතියට කරුණක් නොවේ. දිනපතා ගමන් බලපත්‍ර සකසාගැනීමට ජනතාව රැඳී සිටින දිගු පෝලිම්,විදේශ රැකියා සඳහා පවතින සීග්‍ර ඉල්ලුමට අමතරව නාවික හමුදාව විසින් පසුගිය මාස කිහිපය තුළදී අනවසරයෙන් බෝට්ටු මගින් රටින් පලායාමට තැත්කිරීමේදී පුද්ගලයන් අත්ඩංගුවට ගත් සිද්ධීන් දිගින් දිගටම වාර්තා විය.
"ඔවුන් රැකියාවක් කිරීමට එක්සත් රාජධානියේ රැඳී සිටීයි කියලා අපි සැක කරනවා."
"ඒත් ඔවුන් නීති විරෝධී ක්‍රියාවක් සිදුකළහොත් අපිට පුළුවන් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න. මෙතැනදී අපිට පුළුවන් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න බලධාරීන්ගේ අවසරයකින් තොරව බලධාරීන්ට නොදන්වා ක්‍රීඩා ගම්මානයෙන් එළියට යෑම පිළිබඳව. එයට එහා දෙයක් අපිට කරන්න බෑ," යනුවෙන් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර ඉසව්වලින් අතුරුදන් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද මෙවැනිම සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇත.
පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ශ්‍රී ලංකා මල්ලවපොර කළමනාකරු ලෝක ශූරතා තරඟාවලියක් අතරතුර ඔස්ලෝහිදී තම කණ්ඩායම අතහැර අතුරුදහන් විය.
2014 වසරේ දකුණු කොරියාවේ පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු ද අතුරුදහන් විය.
එමෙන්ම 2004 වසරේ ශ්‍රී ලංකාවට ජාතික අත්පන්දු (හෑන්ඩ්බෝල්) කණ්ඩායමක් නොතිබූ අවස්ථාවක පවා, ශ්‍රී ලංකාව නියෝජනය කරන බවට පෙනී සිටිමින් 23 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ජර්මනියේ පැවති තරගාවලියකට සහභාගී වී එහිදී අතුරුදහන් විය. මෙම සිදුවීම අළලා පසුව මෙරටදී චිත්‍රපටයක්ද නිර්මාණය විය .









