ශීත සෘතු ඔලිම්පික් 2022: හිම නොදකින රටවල් ද රන් පදක්කම් සඳහා සටන්වදියි

Members of the Brazil 4-man bobsleigh team training on a racing track

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ශීත ඍතු ඔලිම්පික් උළෙලට සූදානම් වීම සඳහා බ්‍රසීලියානු බොබ්ස්ලේ කණ්ඩායමේ සාමාජිකයින්ට සියරට දී පුහුණුවීමට සිදුව ඇත්තේ හිම රහිතව ය

මේ දක්වා පැවැත්වුණු කිසිදු ශීත ඍතු ඔලිම්පික් උළෙලක දී ඝර්ම කලාපීය රටක් පදක්කමක් දිනා නැත.

නමුත් මෙය, ශීත ඍතු ඔලිම්පික් උළෙලට තරග වැදීම සඳහා එකතුවන රටවල් සංඛ්‍යාව පහත හෙළීමට අපොහොසත්ව තිබේ.

මේ ලිපිය හරහා, 2022 බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේ දී "රන් පදක්කම් සඳහා" උත්සාහ කළ අයගෙන් කිහිපදෙනෙකු ගැන අපි ගවේශනය කරමු. සෞදි අරාබියෙන් ඇල්පයින් ස්කියින් ක්‍රීඩකයෙකු, ජැමෙයිකානු බොබ්ස්ලේ කණ්ඩායමක් සහ තායිලන්තයෙන් හිම මත ලිස්සායාමේ ක්‍රීඩකයෙකු ද මේ අතර සිටියි.

සෞදි අරාබියේ වැලිකඳුවල සිට හිමෙන් වැසුණු බෑවුම් දක්වා

Saudi skier Fayik Abdi

ඡායාරූප මූලාශ්‍රය, Fayik Abdi

ඡායාරූප ශීර්ෂ වැකිය, ෆායික් ආබ්දි, සෞදි අරාබියේ ප්‍රථම ශීත ඔලිම්පික් සංචාරයේ දී බලාපොරොත්තු ඔසවාගෙන යනු ඇත

හිමෙන් වැසුණු ශීත ඍතු ක්‍රීඩා උළෙල සහ සෞදි අරාබියේ ආර්ද්‍රතාවයෙන් ඉහළ උණුසුම අතර ඇති සම්බන්ධය ඔබට එක්වරම සිතාගත නොහැකි වනු ඇති නමුත්, කාන්තාර රාජ්‍යයේ එක් ක්‍රීඩකයෙකු මේ සුවිශාල මොහොත වෙනුවෙන් සූදානම් වෙමින් සිටියි.

කඳු බෑවුම් හරහා හිම මත ලිස්සායෑමේ ඇල්පයින් ස්කියින් ඉසව්වට තරග කරන 24 හැවිරිදි ෆායික් ආබ්දි, ශීත ඍතු ඔලිම්පික් උළෙලේ දී සෞදි අරාබිය නියෝජනය කරන එකම ක්‍රීඩකයා යි.

"ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා සෞදි අරාබිය නියෝජනය කිරීම බොහෝදෙනෙකුට කුතුහලයක් ඇතිකරන බව මම දන්නවා. නමුත් මම එය සලකන්නේ මගේ රටට පමණක් නොව සමස්ත ගල්ෆ් කලාපයටම ඉතිහාසගතවීමට ලැබෙන අවස්ථාවක් ලෙසට යි," ආබ්දි BBC හා පැවසුවේ ය.

සෞදි අරාබියට හිම පතනයක් සිදුවුවහොත් එය ලොව පුරා ප්‍රවෘත්ති සිරස්තල නිර්මාණය කිරීමට තරම් අසාමාන්‍ය පුවතක් වනු ඇත. එවන් සෞදි අරාබිය පෙබරවාරි 4 වැනිදා චීන අගනුවර දී ආරම්භ වූ මෙවර ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගී වන්නේ පළමු වතාවට ය.

ආබ්දි මේ දක්වා පැමිණියේ කෙසේ ද?

ඔහුගේ ඔලිම්පික් සිහිනය පිටුපස ඇත්තේ අමුතු කතාවකි.

ආබ්දි, මෑතක දී පිහිටුවන ලද 'සෞදි අරාබි ශීත ඍතු ක්‍රීඩා සම්මේලනය' විසින් ඔලිම්පික් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයන් සොයමින් පළකෙරුණු දැන්වීමකට පිළිතුරු දුන් අයදුම්කරුවන් 100කට අධික සංඛ්‍යාවකින් එක් අයෙකි. ඔහු වයස අවුරුදු හතරේ දී ස්කියින් ක්‍රීඩා කිරීමට උගත් අතර, එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරූ අවධියේ දී හැකි තරම් ස්කියින් ක්‍රීඩාවේ නියැළුණේ ය.

කෙසේ වෙතත්, ශීත ඍතු ඔලිම්පික් උළෙලට "හිම රහිත" රටවල් සහභාගීවීමේ වැඩෙන ප්‍රවණතාව සංකේතවත් කිරීමට ඔහුගේ සහභාගීත්වය ප්‍රමාණවත් නොවීය.

1924 දී පැවති පළමු ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූයේ එක්සත් ජනපදය සහ කැනඩාව සමග යුරෝපීය රටවල් 14ක් පමණි. නමුත් 2018 දී දකුණු කොරියාවේ පැවති අවසන් ක්‍රීඩා උළෙලට ලොව පුරා රටවල් 92ක් සහභාගී විය.

බීජිංහි දී මෙවර පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා, පළමුවරට ඊට සහභාගී වන සෞදි අරාබිය සහ හයිටි රාජ්‍යය මෙන්ම, බ්‍රසීලය, නැගෙනහිර ටිමෝරය, ඝානාව, ජැමෙයිකාව, සහ තායිවානය වැනි උණුසුම් කාලගුණය සඳහා ප්‍රසිද්ධ රටවල් ද ඇතුළු රටවල් 91ක් සහභාගී වේ.

ජැමෙයිකානු බොබ්ස්ලේ කණ්ඩායම

Jamaica's 4-man bobsleigh team in the 1988 Winter Games

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1988 ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දී ජැමෙයිකාවේ විස්මිත සහභාගීත්වය, Cool Runnings චිත්‍රපටිය තුළ අමරණීය විය

"ශීත ඔලිම්පික් උළෙලට සහභාගී වන පිටස්තර රටක්" ගැන සිතන විට ඇතැමුන්ට බොහෝවිට සිහිවන්නේ කැරිබියානු දූපතක් වන ජැමෙයිකාව වන අතර, ඒ සියල්ලටම හේතුවූයේ හොලිවුඩය සහ 1993 වසරේ දී එළිදැක්වුණු Cool Runnings චිත්‍රපටිය යි.

1998 කැනඩාවේ කැල්ගරි ශීත ඍතු ඔලිම්පික් උළෙලට සහභාගී වූ ජැමෙයිකානු සිව්පුද්ගල බොබ්ස්ලේ කණ්ඩායමේ කතාව මත පදනම්වූ මෙම චිත්‍රපටය, ලොව පුරා ප්‍රේක්ෂකයින් විනෝදාස්වාදයට පත් කරනවාට වඩා වැඩි යමක් සිදුකළේ ය. එය අනෙකුත් "හිම රහිත රටවල්" ද ශීත ඍතු ඔලිම්පික් උළෙලේ දී ඔවුන්ගේ වාසනාව උරගා බැලීමට පෙළඹවීය.

'98න් පසු ජැමෙයිකාව ඔලිම්පික් තරගාවලි කිහිපයක යුගල බොබ්ස්ලේ ඉසව්වලට සහභාගී වූ නමුත්, 1998 දී ජපානයේ නගානෝහි පැවැත්වුණු ශීත ඔලිම්පික් උළෙලෙන් පසු සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී කරවන්නේ මෙවර බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට ය.

මේ කැරිබියානු දූපත නියෝජනය කරමින් මෙවර ද යුගල කණ්ඩායමක් පැමිණෙන අතර, ජැස්මීන් ෆෙන්ලේටර්-වික්ටෝරියා කාන්තා මොනොබොබ් ඉසව්ව සඳහා සහභාගී වනු ඇත.

Two members of the Jamaican 4-man bobsleigh team push a Mini Cooper during lockdown in the UK

ඡායාරූප මූලාශ්‍රය, Shanwayne Stephens

ඡායාරූප ශීර්ෂ වැකිය, වසංගතය නිසාවෙන් 2022 ජැමෙයිකානු කණ්ඩායමට සිය පුහුණුවීම් සඳහා විකල්ප භාවිතා කිරීමට සිදුවිය - ඔවුන්ගේ විකල්පය වූයේ මිනි කූපර් රථයක් තල්ලු කිරීම යි

නමුත් Cool Runningsහි දර්ශනයක් සිහිපත් කළ සමහර පුහුණුක්‍රම නිසා සිව්දෙනාගේ කණ්ඩායම සිරස්තල මැවීමට ද සමත් විය.

2020 දී, කණ්ඩායමේ සාමාජිකයින් දෙදෙනෙකු වන ෂැන්වේන් ස්ටීවන්ස් සහ නිම්රෝයි ටර්ගොට්, එක්සත් රාජධානියේ පීටර්බරෝ නගරයේ කාර්මික කලාපයක් වටා මිනි කූපර් රථයක් තල්ලු කරමින් සිටින අයුරු දක්නට ලැබුණි (COVID-19 හේතුවෙන් එක්සත් රාජධානියේ ක්‍රීඩාගාර එකල වසාදමා තිබුණි).

"මම පොඩිකාලේ ඒ චිත්‍රපටියට ගොඩක් ආසා කළා. මගේ හීන කිසිවිටෙකත් අත්හරින්න හොඳ නැතිබව ඒක මට ඉගැන්නුවා," ස්ටීවන්ස් BBCයට පැවසුවේ ය.

මෙම චිත්‍රපටය විසින් පොළඹවන ලද්දේ ජැමෙයිකාව පමණක් නොවේ. 1998 ශීත සෘතු ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමට උත්සාහ කළ බ්‍රසීල කණ්ඩායමක් වෙනුවෙන් අරමුදල් රැස්කිරීමේ දී ද Cool Runnings යොදාගනු ලැබුණි.

නමුත්, 'හිම රහිත රටවල්' මෙම තරගාවලියට සහභාගීවීමේ ඉතිහාසය ඉතා පැරණි එකකි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට (IOC) අනුව ශීත ඍතු ක්‍රීඩා උළෙලට තරග කළ පළමු ඝර්ම කලාපීය රට මෙක්සිකෝව යි. ඒ,1928 දී ය.

ශීත ඍතු ක්‍රීඩා උළෙලට නිවර්තන කලාපීය ජාතීන් පැමිණෙන්නේ 1972 දී, පිලිපීනය ඇල්පයින් ස්කියින් ඉසව්වට තරගකරුවන් දෙදෙනෙකු සහභාගී කළ අවස්ථාවේ දී ය.

ශීත ඍතු ක්‍රීඩා උළෙල සඳහා හිම නොවැටෙන රටවල් දක්වන උනන්දුව, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වැඩි අවස්ථාවක් ලබා දී ඇත.

උදාහරණයක් ලෙස, මෙවර පළමු වරට ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා සහභාගී වන හයිටි ගනිමු; එහි එකම නියෝජනය වන්නේ ඇල්පයින් ස්කියින් ක්‍රීඩක රිචඩ්සන් වියානෝ ය. උපතින් හයිටි ජාතිකයෙකු වූ ඔහු වයස අවුරුදු තුනේ දී ප්‍රංශ පවුලක් විසින් හදාවඩා ගන්නා ලද අතර, එතැන් සිට ඔහු ජීවත්වූයේ යුරෝපයේ ය. 2018 ප්යොන්චැං ඔලිම්පික් උළෙල සඳහා ප්‍රංශයෙන් ඉදිරිපත් කළ කණ්ඩායමට ඇතුළත්වීමට වියානෝ අපොහොසත් වූ පසු, හයිටි ක්‍රීඩා බලධාරීන් විසින් ඔහු අමතා එරට ධජය යටතේ ක්‍රීඩා කිරීමට තෝරාගැනුණි.

හයිටි ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන හයිටි ලිබ්‍රේ වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ස්කී ක්‍රීඩකයා පැවසුවේ, මෙම ආරාධනය ඔහුගේ වෘත්තියට දෙවන අවස්ථාවක් ලබාදුන් බව යි.

"ඒ කෝල් එක ලැබුණේ නැත්නම්, මම නිසැකවම හිම මත ලිස්සායාම නතර කරලා ගොඩනැගිලි කර්මාන්තයේ වැඩ කරන්න ඉඩ තිබුණා," වියානෝ එහිදී පැවසීය.

තායිලන්තය නියෝජනය කරමින් රට හරහා හිම මත ලිස්සා යන ක්‍රීඩිකාවක්

Karen Chanloung

ඡායාරූප මූලාශ්‍රය, Karen Chanloung

ඡායාරූප ශීර්ෂ වැකිය, කැරන් චැන්ලුන්ග් සහ ඇගේ සොහොයුරා මාර්ක් ඉතාලියේ උපන් නමුත්, බීජිංහි දී සිය පියාගේ උපන් රට වන තායිලන්තය නියෝජනය කරනු ඇත

කැරන් චැන්ලුන්ග් මෙවර තායිලන්තය නියෝජනය කරමින් බෙයිජිං උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හතරදෙනාගෙන් අයෙකි. 25-හැවිරිදි ඇය ඉතාලියේ උපත ලැබූ අතර, ඇගේ සහෝදරයා වන මාර්ක් ද සමග යොවුන් ක්‍රීඩකයින් ලෙස ඉතාලි ධජය යටතේ තරග කළා ය. නමුත් ඒ, ඔවුන්ගේ පියා උපන් දේශය 2016 දී ඔවුන් සොයා පැමිණෙනතෙක් පමණි. 2018 ක්‍රීඩා උළෙලේ දී සහෝදර සහෝදරියන් දෙදෙනාම රට හරහා හිම මත ලිස්සායාමේ ඉසව්වට සහභාගී වූ අතර, මාර්ක් ද මෙවර බීජිං කණ්ඩායමට ඇතුළත් ය.

"අපට හැමතිස්සෙම අපේ තාත්තගේ රට නියෝජනය කරන්න ඕනෑ වුණා. නමුත් ළඟක් වෙනකල්ම තායිලන්තයට ශීත ක්‍රීඩා සම්මේලනයක් පවා තිබුණේ නැහැ," කැරන් චැන්ලුන්ග් පැහැදිලි කරයි. "තායිලන්තය නියෝජනය කිරීම මට යි, මගේ සහෝදරයාට යි ගොඩක් වටිනවා. ඒ රට අපේ [අනන්‍යතාවයේ] කොටසක්. අපි හැදී වැඩුණේ තායි සංස්කෘතිය එක්ක යි."

පුහුණුව සම්බන්ධයෙන් ගත්කල, හිම රහිත රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් කටයුතු සඳහා වැඩි වශයෙන් සංචාරය කිරීමට සිදුවූ අතර, කොවිඩ්-19 සීමාකිරීම් මැද මෙය විශාල අභියෝගයක් විය. "වසංගතය අපට හරස් වුණා, නමුත් ඒක දැන් හැම කෙනෙකුගේම ජීවිතට පොදු යි," යි සෞදි ස්කී ක්‍රීඩක ෆායික් ආබ්දි පවසයි.

"නමුත්, ඒක අපි ශීත ඍතු ඔලිම්පික් උළෙලට තේරුණු එක වඩාත් මිහිරි අත්දැකීමක් බවට පත්කළා."

Australian freestyle skier Matt Graham celebrates winning a silver medal in the 2018 Winter Olympics

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ඕස්ට්‍රේලියාව, ශීත ඍතු ඔලිම්පික් උළෙලේ දී හොඳින් ක්‍රීඩා කරමින් පදක්කම් දිනූ උණුසුම් රටකට හොඳම උදාහරණය යි

ශීත ඍතු ඔලිම්පික් උළෙලට හිම රහිත රටවල් වැඩි වැඩියෙන් සහභාගී වෙමින් පැවතුණත්, පදක්කම් දිනීම සම්බන්ධයෙන් සැලකිය යුතු යමක් කිරීමට බොහෝදෙනෙකුට තවමත් හැකිවී නැත.

IOCට අනුව, කිසිදු ඝර්ම කලාපීය රටක් මෙතෙක් මෙම තරගයේ දී එකදු පදක්කමක් දිනාගෙන නොමැත.

ශීත ඍතු ක්‍රීඩා 19කට වඩා සහභාගී වෙමින් පදක්කම් 15ක් දිනාගෙන ඇති ඕස්ට්‍රේලියාව, උණුසුම් කාලගුණය සඳහා ප්‍රසිද්ධ රටක් වශයෙන් මෙහි දී එකම ව්‍යතිරේකය බවට පත්ව සිටියි.

නමුත් IOC විසින් අනුගමනය කෙරෙන්නේ කොපන් දේශගුණික වර්ගීකරණ ක්‍රමය වන බැවින්, ඕස්ට්‍රේලියාව සැලකෙන්නේ නිවර්තන රටක් ලෙස නොව වියළි රටක් ලෙස යි.

කෙසේ වෙතත්, මෙය ෆායික් ආබ්දි සහ කැරන් චැන්ලුන්ග් වැනි මළල ක්‍රීඩකයින්ගේ උද්යෝගය අඩාල කිරීමට සමත් වී නැත. "ඔලිම්පික් උළෙල තරම් වැදගත් තරගාවලියක දී තමන්ගේ රටේ ධජය දක්නට ලැබීම ගොඩක් රටවලට වැදගත් දෙයක්," චැන්ලුන්ග් විශ්වාස කරයි.

"ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අපිට මේ තරගය තරම් ලොකු දෙයක් නැහැ. අපි අපේ උපරිම උත්සාහය යොදන්න ඕන."

මෙයට ආබ්දි ද එකඟ වේ. සෞදි අරාබියේ ශීත ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම ඔහුගේ ඔලිම්පික් සිහිනයේ විශාල කොටසකි. ලොව සිව්වැනියට විශාලතම ගෘහස්ථ හිම ක්‍රීඩාගාරය සෞදි අරාබියේ පිහිටුවීම ද ඊට අයත් ය.

"මම මිනිසුන්ට ධනාත්මක පෙළඹවීමක් ඇති කරන්න උදව්වක් වෙයි කියලා මම හිතනවා," යි ආබ්දි පවසයි. මක්නිසා ද යත්, ඔහුට අවශ්‍යව ඇත්තේ අනාගතයේ දී "සෞදි අරාබියේ සහ ගල්ෆ් කලාපයේ අනෙකුත් පුද්ගලයින් ද ශීත ක්‍රීඩා කරන්නත්, පුළුවන් නම් ශීත ඍතු ඔලිම්පික් දක්වා ද පැමිණෙනවාත් දකින්න යි."

මේ වන විට (පෙබ. 7) බෙයිජිං ශීත සෘතු ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන්නේ, රන් පදක්කම් තුනක් දිනූ ස්වීඩනය යි.

රන් පදක්කම් දෙකක්, රිදී පදක්කම් දෙකක්, සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනූ රුසියානු ඔලිම්පික් කමිටුව දෙවන ස්ථානයේත්, රන් පදක්කම් දෙකක්, රිදී හා ලෝකඩ පදක්කමක් දිනූ නෙදර්ලන්තය තෙවන ස්ථානයේත් පසුවෙයි.

එක් රන් පදක්කමක් හා රිදී පදක්කමක් දිනූ සත්කාරක චීනය තවමත් සිටින්නේ හත්වන ස්ථානයේ ය.