තියුණු තරගයකින් නවසීලන්තය පරදා එංගලන්තය ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගනී

ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරගයේ දී අතිරේක පන්දුවාරයක දී ප්‍රදර්ශනය කරන ලද දක්ෂතා අනුව ජයග්‍රහණය වාර්තා කරමින් එංගලන්ත කණ්ඩායම ලෝක ක්‍රිකට් කිරුළ දිනා ගැනීමට සමත් විය.

ඉරිදා (ජුලි 14) පැවති ලෝක කුසලාන අවසන් තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට එක් රැස් කර ගැනීමට හැකිවුණේ ළකුණු 241 ක් පමණි.

අනතුරුව ළකුණු 242 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායමත් ඕවර් පනහ නිමාවේ ලබා ගත්තේ ලකුණු 241 ක් පමණි.

සුපිරි පන්දු වාරයක්

නියමිත පන්දුවාර පනහ නිමාවේ කණ්ඩායම් දෙකම සමාන ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ හෙයින් අතිරේක පන්දුවාරය (super over) බැගින් දෙපාර්ශ්වයටම හිමි වූ අතර එම ඕවරයේ දී ලබාගත් ලකුණු සංඛ්‍යාව අනුව ජයග්‍රාහක කණ්ඩායම තීන්දු කරනු ලැබුණි.

ඒ අනුව එම අතිරේක ඕවරයේ දීත් කණ්ඩායම් දෙකම ලකුණු 15 බැගින් ලබා ගත්හ.

යළිත් කණ්ඩායම් දෙකම සම වූයෙන් තරග ජයග්‍රාහකයා තීන්දු කරන ලද්දේ තරගයේ වැඩිම හතරේ සහ හයේ පහර එල්ල කරන ලද කණ්ඩායම සැලකිල්ලට ගනිමිනි.

දැනට බල පැවැත්වෙන තරග නීතිය අනුව අතිරේක පන්දු වාරයක දී කණ්ඩායම් දෙකම සම ළකුණු ගත්තොත්, වැඩිම හතරේ සහ හයේ පහර එල්ල කරන ලද කණ්ඩායමට ජයග්‍රහණය පිරිනැමෙයි.

එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයේ දී එංගලන්ත කණ්ඩායම හතරේ පහර 22 ක් සහ හයේ පහර තුනක් එල්ල කර ඇත.

නවසීලන්ත කණ්ඩායම එල්ල කරන ලද්දේ හතරේ පහර 14 ක් සහ හයේ පහර දෙකක් පමණි.

එංගලන්ත ඉනිම ආරම්භයේ පටන්ම එම කණ්ඩායමේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළ නවසීලන්ත පන්දු යවන්නෝ පිළිවෙළින් නවය, දහය සහ එකොළොස් වෙනි පන්දු වාර තුනේදීම එංගලන්ත පිතිකරුවන්ට එකදු ලකුණක් හෝ ලබා නොදීමට සමත් වූහ.

ප්‍රහාරක පිතිකරුවන් හැටියට නමක් දරන එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් ළකුණු නවයකට සීමා කළ නවසීලන්ත පන්දු යවන්නෝ ජෝ රූට් ලකුණු හතකට සීමා කළහ.

තවත් ප්‍රහාරක පිතිකරුවකු වන බෙයාස්ටෝ ලබා ගත්තේ ලකුණු තිස් හයක් පමණි.

පසුව පිටියට පැමිණි ජොස් බට්ලර් ළකුණු 59 ක් ද බෙන් ස්ටෝක්ස් ලකුණු 92 ක්ද ලබා ගනිමින් සිය කණ්ඩායම ශක්තිමත් කළහ.

එංගලන්තය 1992 වසරින් පසු ලෝක කුසලාන අවසාන මහා තරගයකට සුදුසුකම් ලද පළමු අවස්ථාව මෙයයි.

1992 තරගයේ දී එංගලන්තය පාකිස්ථානයට පරාජය විය.

1979 ලෝක කුසලාන තරගයේ දීත් එංගලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවත් එම තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පරාජය විය.

නැවත 1987 දී එංගලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවත් ඔවුහු ඔස්ට්‍රේලියාවට ලකුණු හතකින් පරාජය වූහ.

1992 පරාජයෙන් අනතුරුව අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායමට 2019 වසර වනතෙක් බලා සිටීමට සිදු වූ අතර ඔවුහු මෙවර ලද එම අවස්ථාව මැනවින් ප්‍රයෝජනයට ගනිමින් සිය රටට ලෝක කුසලානය ලබා දීමට සමත් වූහ.

1992 පැවති එම අවසන් මහා තරගයේ දී එංගලන්ත කණ්ඩායම පාකිස්තානයට පරාජය විය.

එම ඉතිහාසය අනුව මෙවර තරගාවලියත් ඇතුළුව එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරග හතරක් (1979,1987,1992 සහ 2019 )සඳහා සුදුසුකම් ලබා ඇතත් 2019 තෙක් ඔවුන්ට ජයග්‍රහණයක් භුක්ති විඳීමට අවස්ථාවක් උදා නොවුණි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා රටවල් දහයක් සහභාගී කෙරිණ.

ඉරිදා පැවති තරගයට පෙර ප්‍රකාශයක් කළ එංගලන්ත කණ්ඩායමේ නායක ඔයින් මෝගන් "ලෝඩ්ස් තණතිල්ලේ හරිතභාවය පිළිබඳව ශුභවාදී ආකල්පයක් පළ කර තිබුණි.

එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය යන රටවල් මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වූහ.

එකී රටවල එක්දින ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුන මූලික වටයේ තරගවලින් අනතුරුව වැඩිම කුසලතා ප්‍රදර්ශනය කරන ලද කණ්ඩායම් හතර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලදහ.

එම අවස්ථාව අත්වුණේ ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය සහ එංගලන්තය යන රටවලටයි.

එහෙත් කුසලතා පුවරුවේ ඉදිරියෙන්ම සිටි ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අවසාන පූර්ව තරග වටයේ දී පරාජයට පත්වීමෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර අවසාන මහා තරගයට එංගලන්තය සහ නවසීලන්තය සුදුසුකම් ලදහ.

එංගලන්තය මෙම අවසන් මහා තරගයට සුදුසුකම් ලද්දේ පස් වතාවක් ලෝක ක්‍රිකට් කිරුළ දිනාගත් ඔස්ට්‍රේලියාව අවසාන පූර්ව තරගයේ දී පරාජය කරමිනි.